නඩු තීන්දු කියන කතා 5 – ත්‍රිපුද්ගල මහාධිකරණයක අධිචෝදනාවක් සංශෝධනය කිරීමේ බලය

කියවන්න ලැබෙන හැම නඩු තීන්දුවක් ම රසවත් නඩු තීන්දු නෙමෙයි. හැබැයි හැම නඩු තීන්දුවකින් ම වගේ නීතීඥවරයකුට ගත හැකි දෙයක් ලැබෙනවා. ඒ වගේම නඩු තීන්දුවක් තමයි අද අපි මේ කථා කරන්නේ. පාඨක ඔබ නොසෑහෙන්න කථා කරලා ඇති මේ නඩු තීන්දුව ගැන.

මේ සිද්ධිය වෙන්නේ 1996. ඒ කාලෙදි KK අවුරුදු 18 ක, අ.පො.ස. උ/පෙ හදාරණ සිසුවියක්. ඇය අධ්‍යාපනය ලැබූවේ යාපනයේ චුන්ඩිකුලි විද්‍යාලයේ. ඇය ජීවත්වුනේ ඇගේ මවත් සොයුරාත් සමඟ කයිතාඩි දකුණෙ. ඇගේ වැඩිමල් සොයුරිය ජීවත් වුනේ. ඉතින් මේ කියන KK දක්ෂ සිසුවියෙක් විදියට සැලකුණා. සිද්ධිය වෙන කාලේ ඇගේ මව වන R ගේ වයස 59 යි. ඒ වගේම සිද්ධිය වෙන කාලේ KK ගේ සොයුරා P, අවුරුදු 16 ක යාපනයේ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ ඉගෙන ගන්න දක්ෂ සිසුවෙක්. මේ සිද්ධියට සම්බන්ධ KK ගේ අසල්වැසියකුත් ඉන්නවා. ඒ ගැන පසුවට කථා කරමු.

පැමිණිල්ලට අනුව සිද්ධියේ සාරාංශය මෙහෙමයි.

ඉතින් සිද්ධිය වූ දවසේ උ/පෙල විභාගය ලියලා උදේ 11.30 න් විතර පස්සේ, පිළිතුරු පත්‍රය අදාළ විභාග පරීක්ෂකට භාර දීමෙන් පස්සේ විභාග ශාලාවෙන් පිටවෙන KK තමන්ගේ පාසැල් මිතුරියක් සමඟ පුට්සයිකලයෙන් යනවා මියගොස් සිටින යහළුවකුට අවසන් ගෞරව දක්වන්න. සවස 12.30 ට විතර වගේ ගෑණු ළමයි දෙන්නා මළගෙදරින් පිටවෙනවා. එක්තරා මංසන්ධියකදී මේ දෙන්නා වෙන්වෙලා KK තමුන්ගේ නිවස දෙසට ගමන් කරනවා. මේ ගමන් කරන මාර්ගයේ දී ඇයට සිදුවනවා චෙම්මුනි මුර කපොල්ල පසු කරන්න. මෙතැන පහු කරන් යද්දී 1 වන අභියාචක විසින් KK ව නවත්වගන්නවා ප්‍රශ්නකරන්න අවශ්‍යයි කියලා. ඔහුගේ අණට කීකරුවන KK ව බංකරය ඇතුළට රැගෙන යන 1 වන අභියාචක ඇගේ කට රෙදි කඩකින් බඳිනවා. විභාගේ අවසන්වෙලා තමුන්ගේ දුව ගෙදර එන්න පරක්කු නිසා සවස 2.30 ට විතර R යනවා දුවව සොයන්න. ඇයත් සමඟ මේ ගමනට ඇගේ පුතා වන Pත් අසල්වැසියකු වන Kත් එකතු වෙනවා. ඔවුන් ගමන් කරන්නෙත් පුට්සයිකල් දෙකකින්. මේ දෙකෙන් P පදින බයිසිකලය හඳුනාගන්න විශේෂ සලකුණක්, ඒ කියන්නේ එක්තරා ලාංඡනයක් තියෙන සයිකලයක්. මේ තුන්දෙනාත් එනවා චෙම්මුනි මුර කපොල්ලට. ඇවිත් 1 වන අභියාචකගෙන් KK ගැන අහනවා. නමුත් ඔහු කියන්නේ මන් ඒ ගැන දන්නෙ නෑ කියලා. ඒ පිළිතුරත් එක්ක අර තුන්දෙනා තවදුරටත් උනන්දු වෙනවා KKව සොයන්න. නමුත් 1 වන අභියාචක මේ ගැන ඉහළ අධිකාරීන්ට වාර්තා වීම වැළැක්වීම සඳහා සිදු කරන්නේ මේ තුන්දෙනාවත් බංකරේ ඇතුළට රැගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් රඳවා ගැනීම. එදා රාත්‍රියෙදි 1 වන අභියාචක විසින් P වත් K වත් මරලා, ලණුවකින් බැඳලා බංකරය පිටුපස වළලනවා. ඔවුන්ගේ ඇඳුම් වෙනම වළක වළලනවා. R වත් මරලා මේ විදියටම වළලනවා. අභියාචකයින් විසින් KKවත් අවස්ථා කීපයකදී දූෂණය කරලා කලින් කියපු විදියට ම මරලා වළදානවා.

මේ අතරෙ යුධ හමුදාවේ ඉහළ නිලධාරීන්ට නිර්නාමික පෙත්සමක් ලැබෙනවා සිවිල් පුරවැසියන් සිව්දෙනකු අතුරුදන් වීම ගැන. මේ පෙත්සම එක්ක හමුදාව සිදු කරන පරීක්ෂණවලදී චෙම්මුනි මුර පොලට අනුයුක්ත නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරෙනවා. ඒ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵල විදියට මුරපොලට ආසන්නයේ වළදාලා තියෙන මළසිරුර හතර අනාවරණය වෙලා ගොඩගැනීම සිදු වෙනවා. ඒ වගේම තමයි අභියාචකයන් යුධ හමුදා පොලීසියට පාපොච්ඡාරණය කරනවා ප්‍රශ්නගත අපරාධයන් සම්බන්ධයෙන් තමුන්ගේ වගකීම පිළිගනිමින්. අනෙක් අතට අභියාචකයන්ට බැරිවෙනවා විශ්වාස කළහැකි පැහැදිලි කිරීමක් කරන්න මළ සිරුරු සහ ඇඳුම් වළදාපු තැන් ගැන දැනුවත්වුනේ කොහොමද කියලා.

මේ සිද්ධිය ලෝකය පුරාම ප්‍රසිද්ධ සිද්ධියක් වෙනවා. ඊට හේතුව තමයි මේ කාලේ වෙද්දී එල්ටීටීටීඊ ත්‍රස්තවාදය පැවතීම. ඉතින් මතුවෙච්ච කරුණුත් එක්ක අගවිනිසුරුතුමා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ලක් පත්කරනවා මේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සඳහා. ඒ අනුව පවත්වන මහාධිකරණ නඩු විභාගයේ දී චූදිතයන්ගේ වරදකාරීත්වය ඔප්පුවෙලා ඔවුන්ට දඬුවම් ලැබෙනවා. ඒ තීන්දුවට සහ දණ්ඩයන්ට විරුද්ධව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කරන්නේ.

අභියාචනයේ දී හබ කළ ප්‍රධාන කරුණු

ඉතින් අභියාචනයේ දී අභියාචකයන් වෙනුවෙන් ප්‍රධාන කරුණු 7 ක් ඔස්සේ ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුව හබ කෙරෙනවා. ඒ කරුණු 7 සාරාංශයක් පහතින් දැක්වෙනවා.

  1. විනිසුරු මණ්ඩලයේ විනිසුරුවරුන් තිදෙනා එකිනෙකාට ස්වාධීනව එකිනෙකට වෙනස් නඩු තීන්දු 3 ක් ප්‍රකාශ කිරීම නිසා වලංගු තීන්දුවක් නොමැති බව‍

  2. යුධහමුදා පොලීසියට අභියාකචයින් විසින් සිදුකළ පාපොච්ඡාරණය ආවේශ්‍ය කිරීම මඟින් විනිසුරු මණ්ඩලය නීතිය වරදවා කටයුතු කළ බව‍

  3. සාක්ෂි ආඥාපනතේ 27 වන වගන්තිය යටතේ කරගත් අනාවරණයන් මුල් කරගනිමින් වරදකාරීත්වය අනුමිත කිරීමෙන් විනිසුරු මණ්ඩලය නීතිය වරදවා කටයුතු කර ඇති බව

  4. වින්ධිතයන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඡායාරූපයන් මත විශ්වාසය තැබීමෙන් විනිසුරු මණ්ඩලය නීතිය වරදවා කටයුතු කර ඇති බව

  5. පරිවේශනීය සාක්ෂි ඇගයීමේ දී විනිසුරු මණ්ඩලය විසින් නීතිය වරදවා කටයුතු කර ඇති බව‍

  6. පාපොච්ඡාරණයේ සඳහන් කරුණු සැලකිල්ලට ගෙන අභියාචකයින් විසින් සිදු කළ විත්තිකූඩුවේ සිට කළ ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කිරීමෙන් විනිසුරු මණ්ඩලය විසින් නීතිය වරදවා කටයුතු කර ඇති බව

  7. විනිසුරු මණ්ඩලය විසින් ස්ත්‍රී දූෂණය යන වරද ඇතුළත් කරමින් අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීම නීති විරෝධී බවත් එනිසා සම්පූර්ණ නඩු කටයුත්තම බලරහිත වන බව

යම් හෙයකින් මේ කියපු මුල් කරුණ නිවැරදිනම් නඩු විභාගය අවලංගු කර නැවත නඩු විභාගයක් පැවැත්වීමටත්, අනෙක් කරුණු සාර්ථක වුවහොත් අභියාචකයන්ට එරෙහිව කියවා දී ඇති වැරදිකරුවන් කිරීමේ තීන්දුව ඉවත් කිරීමට සහ දඬුවම් ඉවත් කර ඔවුන්ව නිදොස් කර නිදහස් කිරීමටත් විවාදයේ දී කරුණු දැක්වෙනවා.

දැන් තමයි නීතීඥවරුන්ට වැදගත්වෙන කරුණු සාකච්ඡා වෙන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙදී මුලින්ම සාකච්ඡා කරන්නේ පළමු කරුණ. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ විනිසුරුමණ්ඩලයේ විනිසුරුවරුන් තිදෙනා එකිනෙකට වෙනස් හේතූන් මත එකම තීරණයකට පැමිණ ඇති බව. ඒ තීන්දු දෙස බැලූවිට නඩු විභාගයේ දී මතුවුන නොයෙක් කරුණු එකිනෙකාට වෙනස්ව සහ ස්වාධීනව විනිසුරුවරුන් විසින් ඇගයීමට ගෙන ඇති බව පෙන්වා දෙන ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ එම තත්ත්වය යටතේ විනිසුරුවරුන් තිදෙනා විසින් ප්‍රකාශ කළ තීන්දුව එක්ව ලබා දුන් තීන්දුවක් නොවේයැයි කිව නොහැකි බවයි. ඒ අනුව මුල් කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනවා.

දෙවැනි කරුණ වන යුධහමුදා පොලිස් නිලධාරීන්ට සිදු කළ පාපොච්ඡාරණය පිළිබඳවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙදි සලකා බලනවා. අභියාචකයන් වෙනුවෙන් තර්ක කරන්නේ යුධහමුදා පොලීසිය සාක්ෂි ආඥාපනතේ 25 වන වගන්තියෙන් ආවරණය වන පොලිස් නිලධාරියා යන අර්ථය තුළට නොවැටෙන බවට සලකමින් මහාධිකරණය පාපොච්ඡාරණයේ දී අභියාචකයන් විසින් ඉදිරිපත් කළ ප්‍රකාශ සැලකිල්ලට ගෙන ඇති බව. සාක්ෂි ආඥාපනතේ 25 වන වගන්තිය මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය උපුටා දක්වමින් කියනවා සාක්ෂි ආඥාපනතේ දී පොලිස් නිලධාරියා යන්න අර්ථ නිරූපනය නොකරන බව. නමුත් පොලිස් ආඥාපනතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ඇති අර්ථනිරූපනය අධිකරණය සඳහන් කරනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින සොලිසිටර් ජෙනරාල්වරයාගේ කරුණු දැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලඝු කරන්නේ එහිදී කියන්නේ යුධ හමුදා පනත යටතේ වන විට යුධ හමුදා පොලිස් නිලධාරියකු සහ යුධ හමුදා නිලධාරියකු අතර වෙනසක් නොමැති බවත් ඔවුන් සියල්ලන්ම එකම ආකාරයෙන් සලකන බව ලෙසින්. අභියාචකයන් වෙනුවෙන් ජනාධිපතිනීතීඥවරයා දරණ මතය වෙන්නේ සාක්ෂි ආඥාපනතේ දී පොලිස් නිලධාරියා යන්න අර්ථ නිරූපනය නොකරන්නේ ව්‍යවස්ථාදායකයේ අරමුණ වෙන්නේ අවස්ථානුගත කරුණු අනුව පුළුල් අර්ථ නිරූපනයක් කිරීමට අධිකරණයට අවස්ථාව ලබා දීමට බව.

විවාදයේ දී පාර්ශ්වයන් ඉදිරිපත් කළ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගැඹුරින් සාකච්ඡා කලා. ඒ අනුව යුධහමුදා පනතේ 7 වන පරිච්ඡේදය සැලකිල්ලට ගෙන නිගමනය කරනු ලැබූවේ යුධ හමුදා පනත යටතේ වන විට හමුදා පොලිස් නිලධාරියකු විසින් හමුදා නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා තැනැත්තකු සම්බන්ධයෙන් ඇති බලය පොලිස් නිලධාරියකු විසින් අත්අඩංගුවට ගන්නා තැනැත්තකු සම්බන්ධයෙන් ඇති බලයට වඩා වැඩි බලයක් බවයි. ඒ අනුව සාක්ෂි ආඥාපනතේ 25 වන වගන්තිය සඳහා පුළුල් අර්ථනිරූපනයක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා යුධ හමුදා පොලිස් නිලධාරියකුට කරන පාපොච්ඡාරණයක් වුනත් සාක්ෂි ආඥාපනතේ 25 වන වගන්තිය තුළට ඇතුළත් වෙන බව. එනිසා මහාධිකරණය විසින් යුධ හමුදා පොලිස් නිලධාරීන්ට අභියාචකයන් විසින් සිදුකළ පාපොච්ඡාරණ ආවේශ්‍ය කිරීම අනීතික බවත්, ඒවා අභියාචකයන්ට විරුද්ධව යොදා ගත නොහැකි බවත් තීරණය කරනවා.

මීළඟට ශ්‍රේෂ්ඨාධිකරණට ඉහතින් දැක්වූ 3 වන කරුණ පිළිබඳව අවධානය යොමු කරනවා. අභියාචකයන්ගේ නීතීඥවරයා ප්‍රධාන වශයෙන්ම පෙන්වා දෙන්නේ සාක්ෂි ආඥාපනතේ 27 වන වගන්තිය තුළට අන්තර්ගත ප්‍රකාශ සඳහා බලපාන නෛතික මූලධර්ම මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිසි ලෙසින් යොදාගෙන නොමැති බවයි. එහිදී ඔහු තවදුරටත් පෙන්වා දෙනවා අභියාචකයන්ගෙන් එක් අභියාචකයකුව රැගෙන ගොස් පෙන්වා දෙන ස්ථානයට ඉන් පෙර තවත් අභියාචකයකු ද රැගෙන ගොස් ඇති ස්ථානයක් බව.

මේ කරුණ සම්බන්ධයෙන් නිසි තීරණයකට පැමිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සාක්ෂි ආඥාපනතේ 27 වන වගන්තිය පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ අනුව පෙන්වා දෙන්නේ 27 වන වගන්තිය යටතේ සිදු කරන අනාවරණයකින්, ලබා දුන් තොරතුර නිවැරදි බවත් සත්‍යවශයෙන්ම අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් චූදිතට නිවැරදි දැනීමක් පවතින බවටත් පෙන්නුම් කරන බව. එවැනි තොරතුරක් සාක්ෂි ලෙස ලබා දීමේ බාධාවක් නොමැති බව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වන්නේ. ඒ සඳහා සාක්ෂි ආඥාපනතේ 3 වන වගන්තියේ ‘කරුණ‘ යන්න සඳහා ලබා දී ඇති අර්ථනිරූපනයත් භාවිතා කෙරෙනවා. එම තත්ත්වයන් මත නඩු විභාගයේ දී අභියාචකයන් සම්බන්ධයෙන් එකී අනාවරණයන්ට අදාළ සාක්ෂි ආවේශ්‍ය කිරීම මඟින් නෛතික දෝෂයක් විනිසුරුමඩුල්ල සිදු කර නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ. මෙහිදී 27 වන වගන්තියේ අදාළත්වයට ඇති සීමාකිරීම් වන අනාවරණය කරගත් දෙයට අදාළ කරුණු පමණක් සාක්ෂි ලෙසින් අදාළ කර ගැනීම, චූදිතයින් විසින් ලබා දුන් තොරතුර සහ අදාළ කරුණ අනාවරණය කර ගැනීම අතර පැහැදිලි සම්බන්ධතාවය, එකී කරුණු දැක්වෙන කොටස චූදිතයාගේ ප්‍රකාශයෙන් වෙන්කර ගැනීම පිළිබඳව ද දක්වා තිබෙනවා.

පෙර දැක්වූ 4 වන කරුණ ගැන අභියාචකයන්ගේ නීතීඥවරයා විසින් හබ කිරීමක් නොකරන නිසා තීන්දුවේ දී සාකච්ඡා වෙන්නේ නෑ. නමුත් 5 වන කරුණ පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. ඉහතින් 5 වන කරුණ පරිවේශනීය සාක්ෂි ඇගයීමේ දී විනිසුරු මණ්ඩලය විසින් නීතිය වරදවා කටයුතු කර ඇති බවට කෙටියෙන් දක්වලා තියෙනවා. මේ කරුණ පිළිබඳව අභියාචකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ පෙර කිව්ව පාපොච්ඡාරණය යන කරුණට අමතරව. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වෙන තර්කය තමයි මේ පරිවේශණීය සාක්ෂි ඇගයීම සිදුකර ඇත්තේ පාපොච්ඡාරණයට අදාළව. ඉතින් පරිවේශනීය සාක්ෂි කියන්නේ මොනවද කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විස්තර කරනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ අභියාචකයන්ගේ නීතීඥමහතා ඉදිරිපත් කරන කරුණු, මහාධිකරණ විනිසුරුමණ්ඩලයේ තීන්දුව අනුව නිවැරදියැයි කිව නොහැකි බවයි. ඒ තුළදී හමුදා පොලීසියට අභියාචකයන් විසින් සිදු කළ පාපොච්ඡාරණයට ස්වාධීනව පරිවේශනීය සාක්ෂි කීපයක් සැලකිල්ලට ගෙන ඇති බව පෙන්වා දෙනවා. ඒ අතරෙ,

  1. සියළුම අභියාචකයන් චෙම්මුනි මුර පොලට හෝ ඊට මීටර් 50 ක් පමණ දුරින් තිබුන අංක 2 මුර කපොල්ලේ සේවය කළ අය. මේ සමීපතාවය නිසා සියළුම දෙනා සිද්ධිය පිළිබඳව යම් දැනුවත්භාවයකින් සිටි බව

  1. නඩුවේ දී සාක්ෂි දී තිබුණ සමරවික්‍රමගේ සහ අසෝකගේ සාක්ෂි හබ නොවීම. මේ සාක්ෂිවලින් කියවෙනවා සිද්ධිය වුන දවසේ සවස 2.35 ට පමණ බංකරය ඇතුලේ KK ව 1 වන අභියාචක විසින් රඳවා ගෙන සිටි බවත්, 4 වන අභියාචකත් ඒ වෙලාවේ එහි සිටි බවත්.

  1. මියගිය සිව්දෙනාගේ මළසිරුරු වළලා සඟවා ඇති ස්ථානය අභියාචකයන් විසින් එකිනෙකාට ස්වාධීනව පෙන්වා දී තිබීම.

  1. මුර පොලට ආසන්නව තිබී P ගේ බයිසිකලයේ අපි අර කලින් කියපු ලාංඡනය හමු වී තිබීම.

  1. 1 වන අභියාචකගේ සන්තකයේ තිබී R ට අයත් රත්‍රං මාලයක් හමුවීම.

ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙනවා අභියාචකයන්ගෙන් කිසිවකු මේ කරුණු පිළිබඳව කිසිඳු පැහැදිලි කිරීමක් නොකරන බව. එහිදී වැඩිදුරටත් පෙන්වා දෙනවා පැමිණිල්ල විසින් ඉදිරිපත් කර සිටින හැම කරුණක්ම පැහැදිලි කිරීමට චූදිතයකුට විධාන කිරීමට නොහැකි බවත් තමන්ට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට කිසිඳු චූදිතයකු බැඳී නොසිටීම මූලධර්මයක් වුවත් තමුන්ට එරෙහිව ඇති යම් සැකසහිත කරුණු පිළිබඳව පැහැදිලිකිරීමක් සම්බන්ධයෙන් වන විට පිළිගත් සීමාවන් ඇති බවත්. රැජින එදිරිව කොක්රන් සාමිගේ නඩුවේ දී එලන්බරෝ සාමිවරයා විසින් ප්‍රකාශ කළ සහ ලංකාවේ අධිකරණ විසින් අනුගමනය කළ අපි එලන්බරෝ මූලධර්මය විදියට සාමාන්‍යයෙන් හඳුන්වන ප්‍රකාශය මේ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සැලකිල්ලට ගන්නවා. ඒ සමඟ අවසාන නිගමනය වෙන්නේ පරිවේශනීය සාක්ෂි ඇගයීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුමණ්ඩලය නීතිය වරදවා කටයුතු කර නොමැති බව‍.

ඊළඟට පෙර දැක් වූ 6 වන කාරණය පිළිබඳව වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ මහාධිකරණ විනිසුරුමඩුල්ලේ තීන්දු සැලකිල්ලට ගත්විට ද විනිසුරුවරුන් නීතිය වරදවා කටයුතු කළ බවක් නොපෙනෙන බව.

අවසාන කරුණ වන චෝදනාවක් අධිචෝදනා පත්‍රයට එකතු කිරීම ගැනත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ දී සාකච්ඡා කරනවා. මේ සම්බන්ධයෙන් අභියාචකයන් වෙනුවෙන් නීතීඥවරයා මූලික වශයෙන් ම පෙන්වා දෙන්නේ අගවිනිසුරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450(2) වන වගන්තිය යටතේ මහාධිකරණය පත් කිරීමේ දී ස්ත්‍රී දූෂණය යන වරද අභියාචකයන්ට එරෙහිව වරදක් ව නොතිබූ බවත් ඒ අනුව එම වරද මහාධිකරණ විනිසුරුමඩුල්ල විසින් අධිචෝදනා පත්‍රයට ඇතුල් කිරීම බලයක් නොමැතිව කළ ක්‍රියාවක් වන බව. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දෙන්නේ පෙර කී 450(2) වන වගන්තිය අනුව වරදේ ස්වභාවය සහ අවස්ථානුගත කරුණු අනුව මහාධිකරණය පත් කිරීමේ හැකියාව අගවිනිසුරුවරයාට පමණක් කළ හැකි වුවත්, ඒ මහාධිකරණයේ පවත්වන නඩු කටයුතු නීතිපතිවරයාගේ අධිචෝදනාවක් මත හෝ නීතිපතිවරයා විසින් සපයන තොරතුරක් මත පැවැත්විය යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 450(3) වන වගන්තියේ දක්වා ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පනතේ 450(5) වගන්තියත් සැලකිල්ලට ගන්නවා. මීට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 160(3) වන වගන්තිය ද සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ සාක්ෂිවලින් අනාවරණය වන කරුණු අනුව නීතිපතිවරයාට අධිචෝදනාවක් වෙනස් කිරීමට මෙන්ම අධිචෝදනාවක් ඇතුල් කිරීමට ද බලය ඇති බවයි. එවැනි තත්ත්වයක් යටතේ දී පනතේ 450 වන වගන්තිය යටතේ අධිචෝදනාවක් සංශෝධනය කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවට කරන තර්කයේ හරයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සිටිනවා.

මේ තත්ත්වය මත පෙර දැක්වූ යුධ හමුදා පොලීසියට අභියාචකයන් සිදු කළ පාපොච්ඡාරණය පිළිබඳ කරුණ හැර අනිකුත් කිසිඳු කරුණක් අභියාචනයේ දී සාර්ථක නොවන බව ප්‍රකාශ කරන ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පාපොච්ඡාරණය අතහැරියත් අනෙකුත් සාක්ෂි අදාළ වැරදි අභියාචකයන් විසින් සිදු කළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට ප්‍රමාණවත් බව තීරණය කරමින් අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කරනවා.

ඉතින් මේ තීන්දුව ප්‍රධාන වශයෙන්ම පාපොච්ඡාරණය සම්බන්ධයෙන් මෙන්ම ත්‍රිපුද්ගල මහාධිකරණයක අධිචෝදනාවක් සංශෝධනය කිරීමේ බලතල පිළිබඳව මෙන්ම පරිවේශනීය සාක්ෂි පිළිබඳව සාකච්ඡා කෙරෙන තීන්දුවක්. සෝමරත්න රාජපක්ෂ සහ තවත් අය එදිරිව නීතිපති විදියට (2010) 2 ශ්‍රී ලංකා නී. වා. 113 වන පිටුවෙ සිට වාර්තාගත වෙලා තියෙනවා. වැඩිදුර විස්තර අධ්‍යයනය කරන්නෙකුට පුළුවන් කියවන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *