දණ්ඩ නීති සංග්‍රහය – 216 වන වගන්තිය

දණ්ඩ නීති සංග්‍රහය – 216 වන වගන්තිය

දණ්ඩ නීති සංග්‍රහයේ ඇති මේ වගන්තීන් ප්‍රායෝගික භාවිතයේ දී දැක ගැනීමට නොහැකි වූවත් ඉතා වැදගත් වගන්තීන් වේ. ඒ අනුව 216 වන වගන්තිය සැලකිල්ලට ගනිමු.
මේ වගන්තියේ දී කියැවෙන්නේ යම් රාජ්‍ය සේවකයකු, රජයේ සේවකයකු වශයෙන් සිටින විටදී යම් අපරාධ වරදක් සඳහා චෝදනා කරනු ලැබූ හෝ එබන්දක් සඳහා අත්අඩංගුවට ගැනීමට යටත් වූ යම් තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට හෝ සිරභාරයේ තැබීමට නීතියෙන් බැඳී ඇති විටක, ඒ අත්අඩංගුවට ගැනීම ඕනෑකමින් ම පැහැර හැරියහොත් හෝ සිරභාරයෙන් ඔහු පැන යෑම ඕනෑකමින් ම දරා සිටියහොත් හෝ එසේ පැනයෑමේ දී හෝ පැන යෑමට තැත්කිරීමේ දී ඕනෑකමින්ම ආධාර කළහොත් එය වරදක් වන බවයි. ඒ සඳහා වන දඬුවම් ද 216 වන වගන්තියේ දී විස්තර කර ඇත.
වගන්තියට අනුව චූදිතයා වන්නේ රජයේ සේවකයෙකි. වගන්තියේ දැක්වෙන රජයේ සේවකයා යන්න දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන වගන්තියේ විස්තර කර තිබේ. එය මෙහිදී නැවත උපුටා නොදක්වන්නේ නමුත් පාඨක ඔබ එය කියැවීමේ දී පුළුල් පරාශයකට අයත් පුද්ගල කොට්ඨාශයක් ඉන් ආවරණය වන බව දැක ගැනීමට හැකිවනු ඇත. වගන්තියේ දැක්වෙන වරද යන්න දණ්ඩ නීති සංග්‍රහයේ 38 වන වගන්තියේ විස්තර කර ඇත. එම වගන්තිය ද මෙහිදී උපුටා නොදක්වන්නේ නමුත් පාඨක ඔබ එය කියැවීමේ දී පුළුල් පරාශයකට අයත් වැරදි ඒ තුළට අන්තර්ගත වන බව දක්නට ලැබෙනු ඇත. වගන්තියේ දී නීතියෙන් බැඳී ඇති විටෙක ලෙසින් දක්වා ඇති අතර එය දණ්ඩ නීති සංග්‍රහයේ 42 වන වගන්තියේ දී විස්තර කර තිබේ. ඒ අනුව යමකු විසින් නොකර හැරීම නීති විරෝධී වන කවර දෙයක් හෝ ඔහු කිරීමට නීත්‍යනුකූලව බැඳී ඇති ලෙසින් සලකනු ලැබේ. මේ වගන්තිය යටතේ පවරන නඩුවකදී මෙකී කරණු සැලකිල්ලට ගත යුතු වේ.
තවද, රජයේ සේවකයා රජයේ සේවකයකුව සිටින අවස්ථාවට පමණක් ද වගන්තිය යෙදේ. උදාහරණයකට සේවය අවසන්ව නිවසේ සිටින පොලිස් නිලධාරියකුව මේ වගන්තිය යටතේ වරදකට චූදිතයකු කිරීම අපහසු නමුත් එම පොලිස් නිලධාරියා රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේ දී මේ තුළට ඇතුල් කළ හැක.
පැමිණිල්ල විසින් මේ වගන්තිය යටතේ වන නඩුවකදී තවදුරටත් ඔප්පු කළ යුතු කරුණක් වන්නේ විෂය වන තැනැත්තා අපරාධ වරදක් සඳහා චෝදනා කරනු ලැබූවකු හෝ එබන්දක් සඳහා අත්අඩංගුවට ගැනීමට යටත් වූ යම් තැනැත්තකු වන බවයි. ලංකා නීතියේ දී වරෙන්තු ඇතිව මෙන්ම රහිතව තැනැත්තන් අත්අඩංගුවට ගත හැකි අවස්ථා ඇත. සිරභාරයේ තැබීම ද පාලනය වන නීති ඇත. ඒ සමඟ මෙය කියැවිය යුතු වේ.
එසේම ඉහත ඡේදයේ දැක්වෙන විෂයගත පුද්ගලයාව චූදිත විසින් අත්අඩංගුවට ගැනීමට හෝ සිරභාරයේ තැබීමට නීතියෙන් බැඳී ඇති බව ද පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු වේ. උදාහරණයකට පොලිස් ස්ථානාධිපති විසින් හෝ අදාළ නීතිය විසින්ම යම් වරදකට චෝදනා ලැබ ඇති තැනැත්තකුව අත්අඩංගුවට ගැනීමට පොලිස් කොස්තාපල්වරයකුට නියම කලා යැයි සිතමු. කොස්තාපල්වරයා මේ නියමය කඩ කරන්නේ නම් (අනිකුත් කරුණු සම්පූර්ණවන විට) ඔහු අත්අඩංගුවට ගැනීමට නීතියෙන් බැඳී ඇති බවට සිතිය හැක. තවද, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ පළමු උපලේඛනය අනුව ඇති සටහනේ දැක්වෙන වැරදි පිළිබඳව වන සටහන මෙහිදී සැලකිල්ලට ගත යුතු ය. තවත් උදාහරණයක් ලෙස මහේස්ත්‍රාත්වරයකු විසින් යම් තැනැත්තකුව සිරභාරයට පත් කළ අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරියකුට එම කාර්යය සම්පූර්ණ කිරීමට නියම කරයි නම් එම නිලධාරියා එවිට මේ තුළට අන්තර්ගත වන නිලධාරියකු බවට පත් වේ. මෙවැනි අවස්ථා විශාල ප්‍රමාණයක් ප්‍රායෝගිකව නීතියේ දී හමු වේ. එවැනි එක් උදාහරණයක් ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(5) වන වගන්තිය ඔබගේ අවධානයට ලක් කර තබමි. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109 වන වගන්තිය අනුව අපරාධ වැරදි පිළිබඳව පොලීසියට තොරතුරු ලබා දීමෙන් පසුව සැකකරුවන් පිළිබඳව වන ක්‍රියාදාමය ඇරඹේ. එහිදී 109(5) වන වගන්තිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් යෙදේ. බලය ඇති සහ නෛතිකව එහිදී අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු නිලධාරියා එය සිදු නොකරයිනම් මේ වගන්තිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථා සකස් විය හැක. පැමිණිල්ල විසින් ඔප්පු කළ යුත්තේ රජයේ නිලධාරියකු ලෙසින් විෂය ගත තැනැත්තා අත්අඩංගුවට ගැනීමට හෝ සිරභාරයට ගැනීමට චූදිතයා බැඳී ඇත්තේ ද යන්නයි.
ඉහත ඡේදයේ දැක්වෙන බැඳියාව ඇති රජයේ සේවකයා විසින් ඒ බැඳීම කඩ කළ බව ද පැමිණිල්ල විසින් මෙවැනි නඩුවකදී ඔප්පු කළ යුතු වේ.
කෙසේවෙතත් 216 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගැනීම පැහැර හැරීමක් හෝ සිරභාරයෙන් පැනයෑමක් සිදු වූ පමණින් ම රජයේ සේවකයකුව ඊට වරදකරුවකු කළ නොහැක. ඒ සඳහා අදාළ ක්‍රියාව ඕනෑ කමින් ම සිදු කළ බව පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු ය. එනම් දැන දැනම එය සිදුකළ බව ඔප්පු කළ යුතු ය. ‘අහවලාගේ උපදෙස් නිසා කළේ නෑ‘, ‘අහවල් දේ ප්‍රමාණවත් නෑ‘ වැනි කථාන්දර මෙහිදී විත්තිවාචක ලෙසින් අදාළ නොවේ.
216 වන වගන්තිය යටතේ වන වරදක් සම්බන්ධයෙන් නම් කරන චූදිතයකුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ පළමුවන උපලේඛනය අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත නොහැක. කෙසේවෙතත් එහිම දැක්වෙන ආකාරයට මෙවැනි නඩුවකදී මුල් අවස්ථාවේ දී නිකුත් කරන්නේ වරෙන්තුව වේ. නමුත් ඇප ලබා දිය හැකිය. වරද සමථයට පත් කළ නොහැක. මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩු ඇසිය හැක. ඒ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 10 වන වගන්තියට අනුව ය. ඒ අනුව අවශ්‍යනම් පනතේ 136(1)(අ) වන වගන්තියේ ආකාරයට පුද්ගලික පැමිණිල්ලක් මඟින් ද නඩුවක් ඇරඹිය හැක. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 135 වන වගන්තියේ දැක්වෙන නීතිපතිවරයාගේ අනුමැතිය මේ 216 වන වගන්තිය සඳහා අවශ්‍ය නොවේ. ප්‍රාදේශීය අධිකරණ බලය හඳුනාගැනීමේ දී විෂය ගත තැනැත්තා අත්අඩංගුවට ගැනීම පැහැර හැරි හෝ සිරභාරයෙන් පලා යෑමට සැලැස්වූ ස්ථානයේ අධිකරණයට අධිකරණ බලය තිබේ. උදාහරණයකට පැමිණිලිකරු විසින් මුල් පැමිණිල්ල ඉදිරිපත් කරන පොලීසියේ නිලධාරීන් විසින් 216 වන වගන්තිය තුළට අන්තර්ගත වන ක්‍රියාවක් කරයි නම්, ඒ පොලිස් ස්ථානය අයත්වන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරිය හැක.
216 වන වගන්තිය සම්බන්ධයෙන් වන විට චෝදනා කෙටුම්පතක ආකෘතියක්
…… මහේස්ත්‍රාත් අධිකරණයේ දී ය.
…… මහේස්ත්‍රාත්වරයා වන මා විසින් ………. වන ඔබට එරෙහිව පහත ලෙසින් චෝදනා කරමි.
එනම්, මෙම අධිකරණයේ ප්‍රාදේශීය අධිකරණ බලසීමාව තුළදී යුෂ්මතා රජයේ සේවකයකුව (මෙහිදී රජයේ සේවකයාගේ ස්වභාවය දැක්වීම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 165 වන වගන්තිය අනුව වැදගත් වේ) සිටිමින් ……. වන දින හෝ ඊට ආසන්න දිනයක, …………….. (විෂය ගත තැනැත්තාගේ නම/ලිපිනයන් දන්නේනම් එයද ඇතුළත් කළ හැක.) යන අය අත්අඩංගුවට ගැනීමට නීතියෙන් බැඳී සිටියදී, ඕනෑකමින්ම ඔහු අත්අඩංගුවට ගැනීම පැහැර හැරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 216 වන වගන්තියේ දී දක්වා ඇති ………. (216 වන වගන්තියේ ඇති කුමන දඬුවම ද යන්න දක්වන්න) දඬුවමින් දඬුවම් ලැබිය යුතු 216 වන වගන්තියේ ම වැඩිදුරටත් විස්තර කර ඇති වරද කළ බවට මෙයින් චෝදනා කර සිටිමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *