පුරා වස්තු ආඥාපනත පිළිබඳව කෙටි හැඳින්වීමක්

පුරා වස්තු ආඥාපනත පිළිබඳව කෙටි හැඳින්වීමක්
ඉතිහාසය යනු අතීතය යි. ඉතිහාසයෙන් වර්තමානය සකස් වෙයි. වර්තමානයෙන් අනාගතය සකස් වෙයි. ගෙවෙන සෑම මොහොතක් ම ඉතිහාසය වේ. පුරාවිද්‍යාව යනු ඉතිහාසය අනාවරණය කර ගැනීමේ එක් කොටසකි. පුරාවිද්‍යාවේ අරමුණක් වන්නේ ගතවුන කාලය තුළ මනුෂ්‍ය හැසිරීම් වෙනස් වූ ආකාරය සහ එසේ වූයේ කෙසේ ද යන්න හඳුනා ගැනීමයි. ඒ තුළදී පුරාවිද්‍යාඥයින් විසින් මානව ශිෂ්ටාචාරය සංවර්ධනය වූ ආකාරය සොයා යයි. නගර සකස්වීම, නගර බිඳවැටීම, ශිෂ්ටාචාරයන්ගේ නැගී සිටීම නැත්නම් බිඳ වැටීම ආදී කරුණු ඔවුන්ට විෂය වේ. ඒ තුළින් අපේ අනාගතය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමක් ද සිදු වේ. අනෙක් අතට ශිෂ්ටාචාරයන්ගේ අතීතය ආර්ථිකමය අතින් ද රටකට යහපත් වන්නේ ආරක්ෂිත ශිෂ්ටාචාරයක ශේෂයන් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් මුදල් ඉපැයීමට හැකියාවක් ඇති නිසාවෙනි. ඉතිහාසයට බොහෝ අවස්ථාවලදී වටිනාකමක් ලැබේ. මේ නිසා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීම පුද්ගලයන් විසින් මෙන්ම රජයන් විසින් ද සිදු කරයි. ලංකාවේ ද මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මූලිකත්වය ගෙන කාර්යයක් සිදු කරයි. කෙසේවෙතත් මෙම ලිපියේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යය භාරය සාකච්ඡා නොකරන අතර උත්සාහ කරන්නේ ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමට අදාළව ලංකාවේ දැනට පවතින නීතිය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම පමණි.
ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ප්‍රකාශිතව ප්‍රතිපාදනයක් ඇතුළත් නොවේ. නමුත් සංස්කෘතිය පිළිබඳව ප්‍රතිපාදන ඇතුළත් වේ. ඒ අනුව 14(1)(ඊ) වන ව්‍යවස්ථාවේ දී පුරවැසියන්ට සංස්කෘතිය භුක්තිවිඳීමට සහ එය වැඩි දියුණු කිරීමට ඇති මූලික අයිතිවාසිකම පිළිගෙන ඇත. ඉතිහාසය, සංස්කෘතියේ කොටසකි. මෙයට සීමා කිරීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැත. අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය මෙහෙයවීමේ ප්‍රතිපත්තිය තුළ දී සංස්කෘතිය වර්ධනය කිරීමේ යුතුකමක් රජයට පවරා ඇත. කෙසේවෙතත් මේ රාජ්‍ය මෙහෙයවීමේ ප්‍රතිපත්තිවලට අදාළ විධාන අධිකරණයකදී ප්‍රශ්න කළ නොහැකි බව සිහි තබා ගත යුතු වේ. මෙහිදී අපට වැදගත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන ව්‍යවස්ථාවය. එම ව්‍යවස්ථාවෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන විට පවත්නා ලිඛිත හෝ අලිඛිත නීති, ඉදිරියටත් පවත්වා ගෙන යන බවයි. ඒ අනුව මෙම සාකච්ඡාවට වැදගත් වන ලිඛිත නීතියක් අපට හමු වේ. එයනම් 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත වේ. මෙම නීතිය අවස්ථා කීපයකදී සංශෝධනය වී ඇත.
පුරාවස්තු ආඥාපනතේ අරමුණ ශ්‍රී ලංකාවේ පුරාවස්තු ආරක්ෂා කිරීමත්, ශ්‍රී ලංකාවේ ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක අතින් වැදගත්වන ස්ථාන හෝ ගොඩනැගිලි ආරක්ෂා කිරීමත් ය. සංරක්ෂණය ද ඒ තුළට ම ඇතුළත් වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය කෙරේ බලාත්මක ප්‍රධාන ම නීතිය ලෙසින් මේ පුරාවස්තු ආඥාපනත නම් කළ හැක.
මේ ආඥාපනතේ 2 වන වගන්තියට අනුව යමකුගේ දේපලකින් පුරාවස්තුවක් හමුවීම තුළින් ඒ පුරාවස්තුව අදාළ දේපල හිමියාගේ දේපලක් බවට පත් නොවේ. නමුත් සාමාන්‍ය දේපල නීතියේ දී දේපලට අයත් දේහි අයිතිය ඇත්තේ ඒ දේපලේ අයිතිකරුට ය. පුරාවස්තු සම්බන්ධයෙන් ඒ සාමාන්‍ය නීතිය අදාළ නොවේ. නමුත් දේපල හිමියාට ඇත්තේ සොයාගත් හෝ හමු වූ පුරාවස්තුව සම්බන්ධයෙන් එය හමු වූ හෝ සොයාගත් බවට වන සම්බන්ධතාවය පමණි. තවද, ආඥාපනත බලාත්මක වන දින වන විට යම් පුද්ගලයකුගේ භාරයේ හෝ අයිතියේ නොමැති සෑම ඓතිහාසික ස්මාරකයක්ම රජයේ දේපලක් වේ. පුරාවස්තු ආඥාපනත බලාත්මක වන්නේ 1940.07.15 වන දින සිට ය. එසේම, මේ ඓතිහාසික ස්මාරක හැර, පොලොවේ හෝ ගංගාවක හෝ වැවක හෝ ශ්‍රී  ලංකාවේ සමුද්‍රික සීමාව තුළ සැඟවී ඇති නැත්නම් වැළලී ඇති නැත්නම් මතුපිට ඇති,  සොයා නොගත් අනෙක් සෑම පුරාවස්තුවක්ම පුරාවස්තු ආඥාපනතේ ප්‍රතිපාදන වලට යටත්ව රජය සතු වේ.
මේ අනුව ආඥාපනතේ 2 වන වගන්තියේ දී ආඥාපනතට අදාළවන අයිතම කීපයක් විස්තර කරයි. 2(1) වන වගන්තිය ‘පුරාවස්තු‘ පිළිබඳව දක්වා ඇත. ආඥාපනතේ 48 වන වගන්තියට අනුව පුරාවස්තු යන්නෙන් (අ) යම් පැරණි ස්මාරකයක් හෝ (ආ) වර්ෂ1815.03.02 දිනට පූර්වයෙන් වූ කාලසීමාවක සිට පැවතෙන්නා වූ නැතහොත් එසේ පැවතෙන්නේයැයි යුක්ති සහගතව විශ්වාස කළ හැකිවූද ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන හෝ පවතින හෝ සොයාගනු ලබන හෝ පහත සඳහන් ද්‍රව්‍ය අතරෙන් යමක් අදහස් වේ. එනම්,
ප්‍රතිමා නෙලනු ලැබූ හෝ සකස් කරනු ලැබූ සියලු වර්ගවලට අයත් ගල් හෝ කිරිගරුඬ තහඩුවල මුද්‍රිත චිත්‍ර කැටයම් කරනු ලැබූ රූප, ශිලා ලේඛන, පින්තාරු කරන ලද චිත්‍ර, ලියවිලි සහ යම් ද්‍රව්‍යයක් මත ඒවා දක්නට ලැබේ නම් එවැනි ද්‍රව්‍ය, පිඟන් භාණ්ඩවල තහඩුවල සහ රෙදි පිළිවල යෙදූ චිත්‍ර, කාසි, මැණික්, මුද්‍රා, ස්වර්ණාභරන, යුද්ධායුධ, මෙවලම්, විසිතුරු භාණ්ඩ සහ චංචල දේපල වන සෙසු කලාත්මක ද්‍රව්‍ය වේ.
ආඥාපනතේ 2(2) වන වගන්තියේ දී ‘පැරණි ස්මාරක‘ යන පාඨය දැක්වෙයි. මේ පාඨයෙන් පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස 1815.03.02 වන දිනට පූර්වයෙහි වූ කාලසීමාවක සිට පැවත එන්නා වූ නැතහොත් එසේ පැවතෙතැයි යුක්ති සහගතව විශ්වාස කළ හැකි වූද ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන හෝ පවතින හෝ සෙයාගනු ලබන යම් ස්මාරකයක් අදහස් වන අතර එයට,
(අ)       16 වන වගන්තිය යටතේ ගැසට් පත්‍රයේ පල කරනු ලබන නියමයකින් පැරණි ස්මාරකයක් වශයෙන් ප්‍රකාශ කරනු ලැබූ වෙනත් ස්මාරකයක් හා
(ආ)      යම් ගසක් සම්බන්ධයෙන් 17 වන වගන්තිය යටතේ ගැසට් පත්‍රයෙහි නියමයක් පල කර ඇත්තේ ද, එවැනි ගසක් ද ඇතුළත් වේ.
පැරණි ස්මාරකයක් නොවන යම් පුරාවස්තුවක් සොයා ගත් විට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අවශ්‍ය නොමැති බවට තීරණය කරන්නේනම් හැර ඔහු රජය වෙනුවෙන් ඒ පුරාවස්තුවේ භාරකාරීත්වය දරන බව ආඥාපනතේ 3 වන වගන්තියේ දැක් වේ. පෙර කී අර්ථානුරූපව පුරාවස්තු යනු එහා මෙහා ගෙන යා හැකි දේපල බව පෙනී යයි. මේ පුරාවස්තු සෙවීම කැණීම් බලපත්‍රයක් ඇත්තෙකු විසින් සිදු කළ හැකි කාර්යයකි. ආඥාපනතේ 6 වන වගන්තියට අනුව පුරාවස්තු සොයා ගැනීමට යමකු කැණීමක් කරන්නේනම්, ඒ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වේ. නමුත් පුරාවිද්‍යා  අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් හෝ ඔහු වෙනුවෙන් කරනු ලබන කැණීම් සඳහා මේ බලපත්‍රය අවශ්‍ය නොවේ. යමකු විසින් මේ ආකාරයට බලපත්‍රයක් ලබා නොගෙන තමන්ගේ ඉඩමක හෝ අන් අයකුගේ ඉඩමක හෝ කැණීමක් කරනු ලැබුවහොත් එය ආඥාපනතේ 15(1)(අ) වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වේ. පුරාවස්තු සොයා ගැනීමට කැණීම් කළ යුතු ය.
මේ කැණීමේ බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදයද ආඥාපනතේ දක්වා තිබේ. ඒ අනුව කැණීම් බලපත්‍රය සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වෙත නියමිත ආකෘතිය යටතේ වන ඉල්ලීමක් බලපත්‍රය බලාපොරොත්තුවන තැනැත්තා විසින් කළ යුතු වේ. ඒ ඉල්ලීමේ දී කැණීම් කිරීමට අදහස් කරන ඉඩම් පිළිබඳව සම්පූර්ණ සහ නිවැරදි විස්තරයක් මෙන්ම කිරීමට බලාපොරොත්තුවන කැණීමේ ස්වභාවය හා ප්‍රමාණය පිළිබඳව වන විස්තරද ඇතුළත් කළ යුතු ය. මෙවැනි ඉල්ලීමක් කළ විට කැණීමේ බලපත්‍රයක් නිකුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අභිමතය යටතේ සිදු වේ. මේ තීරණයට එරෙහිව අවශ්‍යනම් ඇමතිවරයාට අභියාචනා කළ හැක. මෙසේ නිකුත් කරන බලපත්‍රයක කොන්දේසි ඇතුළත් වන අතර වලංගු කාලසීමාවක් ද වේ. මේ කොන්දේසි උල්ලංඝනය කිරීම ආඥාපනතේ 15(1)(ආ) වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. එසේම වලංගු කාලසීමාව අවසන්වීමට පෙර අධ්‍යක්ෂක ජනරාල්වරයාට මේ බලපත්‍රය ආපසු ලබා ගත හැකි අතර ඒ වන විට තමුන්ට දැරීමට සිදුව ඇති වියදම් හෝ අලාභ ඉල්ලීමේ හැකියාව බලපත්‍රලාභියාට නැති බව ආඥාපනතේ 11 වන වගන්තිය අනුව සිහි තබා ගත යුතු ය. එසේම මෙවැනි කැණීමකදී සිදුවන හානි, පාඩු සම්බන්ධයෙන් රජය විසින් කිසිඳු වගකීමක් දරන්නේ ද නැත (ආඥාපනතේ 13 වන වගන්තිය).
මේ ආකාරයට බලපත්‍රයක් සහිතව කරනු ලබන කැණීමකදී හමුවන සෑම පුරාවස්තුවක් පිළිබඳව වන වාර්තා බලපත්‍රලාභියා විසින් නියමිත ආකෘතියෙහි තැබිය යුතු අතර එය සොයාගත් දින සිට නියමිත කාලසීමාව තුළ එය සොයා ගත් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට වාර්තා කොට ඊට අදාළ නියමිත තොරතුරු සැපයිය යුතු බව ආඥාපනතේ 10 වන වගන්තියේ දැක් වේ. ආඥාපනතේ 3, 4 වන වගන්තිවල දැක්වෙන ආකාරයට ඒ සඳහා මුදල් ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ මේ ආකාරයට වාර්තා කරන්නෙකුට පමණි. මෙසේ වාර්තා කිරීම පැහැර හරින්නකු හෝ 10 වන වගන්තියේ විධාන කඩ කරන්නෙකු ආඥාපනතේ 15(1)(ඇ) වන වගන්තියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් කරන්නේ ය.
තවද, යම් තැනැත්තකු විසින් හෝ ඔහු වෙනුවෙන් හෝ වෙනත් අයකුගේ නියෝජිතයකු ලෙසින් හෝ සිටිමින් ආඥාපනතේ 6 වන වගන්තියට අනනුකූලව කැණීම් කරන ලද පුරාවස්තුවක් ලෙස දනිමින්ම හෝ එසේ දන්නා බව විශ්වාස කරමින්ම මිලට ගන්නා හෝ ඉවත් කරන හෝ සන්තකයට ගන්නා හෝ සන්තකයට ගැනීමට තැත්කරනා අවස්ථාවකදී ද ආඥාපනතේ 15(1)(ඊ) වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කරන්නේ ය.
යම් හෙයකින්, යම් තැනැත්තකු විසින් බලපත්‍රානුකූල කැණීමකින් තොරව පුරාවස්තුවක් සොයා ගන්නා අවස්ථාවකදී කළ යුතු දේ ආඥාපනතේ 14 වන වගන්තියේ දැක් වේ. ඒ අනුව ඔහු විසින් (අ) ඒ පිළිබඳව ඉතාම ආසන්න සාම නිලධාරියාට එය වාර්තා කොට, එය ඔහුට භාර දී කුවිතාන්සියක් ලබා ගත යුතු වේ. එසේම, (ආ) සොයාගැනීමෙන් දින 7 ක් ඇතුළත අදාළ විස්තර ද සමඟ සොයාගැනීම කරනු ලැබූ දිස්ත්‍රික්කයේ දිසාපති වෙත ඒ පිළිබඳව වාර්තා කළ යුතු ය. එවිට දිසාපතිවරයා විසින් ඒ පිළිබඳව අධ්‍යක්ෂක ජනරාල්වරයාට ඒ පිළිබඳව දැන්වීම් නිසි ආකාරයෙන් කරනු ලබයි. යමකු විසින් මෙසේ සොයා ගන්නා ලද පුරාවස්තුවක් පිළිබඳව වාර්තා නො කිරීම හෝ ආඥාපනතේ 14 වන වගන්තිය උල්ලංඝනය කිරීම ආඥාපනතේ 15(1)(ඇ) වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
මේ අනුව බලපත්‍රයක් සහිතව සොයා ගනු ලබන පුරාවස්තු මෙන්ම බලපත්‍රයක් නොමැතිව සොයා ගනු ලබන පුරාවස්තු, ආඥාපනත මඟින් ආවරණය කර ඇති බව පැහැදිලි වේ. යමකු විසින් බලපත්‍රයක් නොමැතිව කැණීමක් කර ලබා ගත් පුරාවස්තුවක්, එය එසේ ලබා ගත් එකක් බව දනිමින් තමන් සතු කරගැනීම මෙන්ම ඒ සඳහා උත්සාහ දැරීම ද ඒ අනෙක් තැනැත්තා ද වරදකරුවකු කරන්නක් බවද මෙයින් පෙනී යනු ඇත. අනෙක් අතට පුරාවස්තු සෙවීම සඳහා නීත්‍යනුකූලව කරනු ලබන කැණීම් ආඥාපනත මඟින් නො වළක්වන බව මෙන්ම ඒ කැණීම් සාර්ථක කරගන්නෙකුට රජය මඟින් දීමනාවක් ගෙවනු ලබන බවද සිහිපත් කළ යුතු ය.
මේ පුරාවස්තුවලට අදාළව වන නඩු විභාග පැවැත්වෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ය. ආඥාපනතේ 15(1) වන වගන්තියේ දක්වා ඇති වැරදි සඳහා වන දඬුවම, එක්කෝ රු.50,000/- ත් රු.250,000/- අතර දඩ මුදලක් විය හැකි අතර නැත්නම් අවුරුද්දක් නො ඉක්මවන දෙයාකාරයෙන් එක් ආකාරයක (බරපතල හෝ ලිහිල්) සිර දඬුවමක් විය හැක. මේ දඬුවමේ ස්වභාවය අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 303 වන වගන්තිය (අත්හිටවූ සිරදඬුවම්) මේ සඳහා අදාළ වන බව පෙනේ. නමුත් ආඥාපනතේ අරමුණු සමඟ නො ගැටෙන ආකාරයෙන් එය පාවිච්චි කිරීම වඩාත් සුදුසු බව අපගේ අදහසයි.
කෙසේවෙතත් ආඥාපනතේ 15(1)(ඇ) සහ (ඈ) වන වගන්තිවල දැක්වෙන වැරදි සම්බන්ධයෙන් වන විට අදාළ පුරාවස්තුවේ වටිනාකම, නොවැදගත්යැයි අධිකරණයේ මතය වන අවස්ථාවක දී වරද කළ තැනැත්තා වැරදිකරුවකු කිරීම අවශ්‍ය නොවේ. එසේම මේ වගන්ති යටතේ යම් තැනැත්තකු පැරණි ස්මාරකයක් නොවන පුරාවස්තු සම්බන්ධයෙන් වරදකරුවකු වූ විට ඒ වරදකරු වීම නිසාවෙන් ඒ පුරාවස්තුවලට ඇති සියළු සම්බන්ධතා අහිමි වන අතර ඒවා අධ්‍යක්ෂක ජනරාල් වෙත මහේස්ත්‍රාත්වරයා නියම කරන කාලයක් තුළදී භාර දිය යුතු ය. යම් හෙයකින් ඒ නියමිත කාලයේ දී භාර නොදෙන්නේ නම් පිස්කල් හෝ සාම නිලධාරියකු මඟින් වහාම එය භාරයට ගෙන අධ්‍යක්ෂක ජනරාල්වරයාට භාර දීමට මහේස්ත්‍රාත්වරයා විසින් කටයුතු කළ යුතු ය. මේ ආකාරයට අධ්‍යක්ෂක ජනරාල්වරයාට පුරාවස්තු භාර දෙන ලෙසට යම් තැනැත්තකුට මහේස්ත්‍රාත්වරයා විසින් නියම කළ විට එය භාර දීම ඒ තැනැත්තාගේ යුතුකම වේ.
යමකු විසින් අනෙක් තැනැත්තකු සන්තකයේ ඇති පුරාවස්තු (වංක චේතනාවෙන්) සොරකම් කිරීම ආඥාපනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි (15අ වන වගන්තිය). එසේම යමකු විසින් චේතනාන්විතව පුරාවස්තුවක් විනාශ කරන්නේනම්, හානි කරන්නේනම්, විරූප කරන්නේනම්, වෙනස් කරන්නේනම් හෝ පුරාවස්තුවක කොටසකට හෝ පාඩුවක් කරන්නේ නම් ඔහු ආඥාපනතේ 15ආ වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකරන්නේ ය.
පුරාවස්තු සොරකම් කරන්නෙකුට මෙන්ම පෙර දැක්වූ ආකාරයට පුරාවස්තු විනාශ කරන්නෙකුට ද දඬුවම, එක්කෝ රු.50,000/- ත් රු.250,000/- අතර දඩ මුදලක් විය හැකි අතර නැත්නම් අවුරුදු 2ට නොඅඩු සහ අවුරුදු 5ක් නො ඉක්මවන දෙයාකාරයෙන් එක් ආකාරයක (බරපතල හෝ ලිහිල්) සිර දඬුවමක් විය හැක. එසේම මේ දඬුවම් දෙකේ ම එකතුවක් විය හැක. පෙර ඡේදයකදී ආඥාපනතේ 15(1) වන වගන්තිය යටතේ වන දඬුවම් විස්තර කර  ඇත. මේ යටතේ වන දඬුවම ඊට වඩා වෙනස් වේ. මෙයින් පෙනෙන්නේ ව්‍යවස්ථාදායකය පුරාවස්තු කැණීමට වඩා වැඩි වටිනාකමක් ඒවා සොරකම් කිරීම සහ විනාශ කිරීම සම්බන්ධයෙන් අනුගමනය කර ඇති බවයි. දැන් 15(1) වන වගන්තියට අනුව සිර දඬුවමට අවමයක් නැති නිසා අධිකරණයට අවශ්‍ය නම් චූදිතයකුට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 303 වන වගන්තිය ප්‍රකාරව අත්හිටවූ සිර දඬුවමක් සඳහා යා හැකි නමුත් 15අ හෝ 15ආ වන වගන්ති යටතේ වන විට සිර දඬුවමේ අවම කාලය දක්වා ඇති නිසා අත්හිටවූ සිර දඬුවමක් ලබා දිය නොහැක. එසේම 15(1) වන වගන්තිය යටතේ වන විට දී දඩය හෝ සිර දඬුවම යන දෙකෙන් එකක් ක්‍රියාත්මක කිරීමට අධිකරණයට හැකියාව ඇති නමුත් 15අ සහ 15ආ වන වගන්ති යටතේ වන විට අවශ්‍යනම් ඒ දඬුවම් දෙකම ක්‍රියාත්මක කිරීමට අධිකරණයට හැකියාව ඇත.
පුරාවස්තු ආඥාපනත සම්බන්ධයෙන් වන විට වැදගත් කරුණක් වන්නේ ආඥාපනතෙන් ආවරණය වන වරදක් සඳහා චෝදනා ලැබූවකු හෝ සැකකරුවකු ඇප පිට මුදා හැරීමට අධිකරණයට බලයක් නොතිබීම යි. මේ බව ආඥාපනතේ 15ඇ වන වගන්තියේ දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව ඇප දීම රීතියත් ඇප නොදීම ව්‍යතිරේකයත් වේ (ඇප පනතේ 2 වන වගන්තිය). ඒ අනුව පුරාවස්තු ආඥාපනත මේ ව්‍යතිරේකය පිළිගන්නා නීතියක් වේ. අභියාචනාධිකරණය පන්නිපිටිය නීතිපති – (2011) 1 ශ්‍රී ලංකා නී.වා. 267 නඩු තීන්දුවේ දී තීරණය කර ඇත්තේ 1997 අංක 30 දරන ඇප පනතේ විධාන පුරාවස්තු ආඥාපනත සම්බන්ධයෙන් අදාළ නොවන බවයි.
මහේස්ත්‍රාත් අධිකරණයේ පුරාවස්තු සම්බන්ධයෙන් උක්ත වැරදි සඳහා විභාග වන නඩු විභාගයකදී, ඒ නඩු භාණ්ඩය, පුරාවස්තුවක් බවට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ලබා දෙන සහතිකයක් බැලූ බැල්මට පෙනෙන සාක්ෂියක් වන අතර වැඩිදුර ඔප්පු කිරීමකින් තොරව ම සාක්ෂි ලෙසින් අනුකූල කල යුතු වේ. මේ අනුව සහතිකයේ දැක්වෙන අදාළ නඩු භාණ්ඩය පුරාවස්තුවක් නොවේ යැයි චූදිතයා කියන්නේ නම් ඒ බව ඔප්පු කිරීමේ භාරය ඔහුට පැවරෙන බව පෙනී යයි. මේ නෛතික තත්ත්වය පෙර ඡේදයේ දැක් වූ ඇප පිළිබඳව වන විධාන සමඟ ගැලපේ. මන්දයත්, අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ සහතිකය හේතුවෙන් පැමිණිල්ලේ නඩුව ඉතා ඉක්මණින් අවසන් කිරීමට හැකියාව ලැබෙන නිසාවෙනි. අනෙක් අතට අදාළ නඩු භාණ්ඩය පුරාවස්තුවක් නොවන බව අධ්‍යක්ෂක ජනරාල්වරයා සහතිකයක් ලබා නොදුන්නා කියා ම නඩු විභාගය අවසන් වන්නේ හෝ චූදිතයන් මුදා හැරීමේ හැකියාවක් හෝ මහේස්ත්‍රාත්වරයාට නැත. අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ සහතිකය පුරාවස්තුව පිළිබඳව වන බැලුබැල්මට පෙනෙන සාක්ෂියක් පමණක් බව ආඥාපනතේ 15ඈ වන වගන්තියේ පැහැදිලිව දක්වා තිබේ. සහතිකය නොමැති විට අදාළ නඩු භාණ්ඩය, පුරාවස්තුවක් බව ඔප්පු කිරීම පැමිණිල්ලේ කාර්යභාරය වේ.
පෙර දී ආඥාපනතේ අර්ථානුරූපව පැරණි ස්මාරක ද මේ තුළින් ආවරණය වන බව සඳහන් කළෙමු. මේ සම්බන්ධව වැදගත් වන නෛතික ප්‍රතිපාදන කීපයක් ම තිබේ. පැරණි ස්මාරකය යන්නට ආඥාපනතෙන් ලබා දී ඇති අර්ථය ඉහතින් දක්වා තිබේ. තවද, ‘ස්මාරකය‘ යන්න ද ආඥාපනතේ විස්තර කර තිබේ. ඒ අනුව යම් ගොඩනැගිල්ලක්, වෙනත් ව්‍යුහයක්, ඉදිකිරීමක් හෝ යම් සොහොන් ගෙයක්, ස්ථූපයක්, යම් භූමිදාන ස්ථානයක් හෝ එවැනි ස්වභාවයේ වෙනත් යම් නිශ්චල දේපලක් හෝ ඒවායේ යම් කොටසක් හෝ නෂ්ඨාවශේෂ සොයාගත හැකි වෙනත් ස්ථානයක් හෝ අදහස් වන අතර යම් ස්මාරකයක් වටා වැට බැඳීම හෝ එය ආවරණය කිරීම හෝ අන්‍යාකාරයෙන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය විය හැකි එවැනි ස්ථානයකට යාබද කොටසක් ද ස්මාරකය යන්නට ඇතුළත් වේ. පැරණි ස්මාරකය යන්න සැලකිල්ලට ගත් විට අප පදිංචිව සිටින නිවස වුවද ඒ තුළට අන්තර්ගත කළ හැකි බව එහි අර්ථානුරූපයෙන් පෙනී යනු ඇත. නමුත් එවැනි නම් කිරීමක් කිරීම සඳහා පිළිගත් පදනමක් තිබේ. එය ආඥාපනතේ 16 වන වගන්තියේ දක්වා ඇත.
ආඥාපනතේ 16(1) වන වගන්තියට අනුව ස්මාරකයක්, පැරණි ස්මාරකයක් ලෙසින් ගැසට් කර නම් කිරීමේ අයිතිය ඇත්තේ ඇමතිවරයාට ය. ඕනෑම නිශ්චිත ස්මාරකයක් අවුරුදු 100 කට වැඩි කාලයකට පෙර සිට පවතින්නේ යැයි හෝ එසේ පවතින බවට විශ්වාස කරන අවස්ථාවකදී ඒ ස්මාරකය 1815.03.02 දිනට පෙර සිට නොපැවති එකක් හෝ එසේ නොවන්නේ යැයි විශ්වාස කරන්නේ වුවද, පැරණි ස්මාරකයක් ලෙසින් ආඥාපනත ප්‍රකාරව පැරණි ස්මාරකයක් ලෙසින් නම් කළ හැක. එසේ ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසුව ඒ පැරණි ස්මාරකය සඳහා පුරාවස්තු ආඥාපනතේ විධාන අදාළ වේ. දැනට මේ ආකාරයෙන් නම් කර ඇති පැරණි ස්මාරක ලැයිස්තුවක් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ වෙබ් පිටුවෙන් ලබා ගෙන මෙහි ඇමුණුමක් ලෙසින් ඉදිරිපත් කර තිබේ.
පැරණි ස්මාරකයක් මෙන්ම ඇමතිවරයාට අවශ්‍ය නම් ගසක් ද මේ ආකාරයට පැරණි ස්මාරකයක් ලෙසින් නම් කළ හැක. ඒ සඳහා ප්‍රතිපාදන ආඥාපනතේ 17 වන වගන්තියේ ඇතුළත් වේ. මේ ගස පිහිටා ඇත්තේ රජයේ ඉඩමක ද නැත්නම් වෙනත් ඉඩමක ද යන්න අදාළ කරුණක් නොවන්නේ ය. අවශ්‍ය වන්නේ ඒ ගස ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු වීමත් සහ ඒ ගස සංරක්ෂණය කිරීමේ හෝ ආරක්ෂා කිරීමේ හෝ අවශ්‍යතාවය පමණි. එවැනි විටක ඒ ගසට ආඥාපනතේ පැරණි ස්මාරකයක් සේ සැලකෙන අයුරින් ගැසට් කර ප්‍රකාශ කිරීමට ඇමතිවරයාට හැකියාව ඇත.
රජයේ ඉඩමක නොවන ඉඩමක ඇති යම් පැරණි ස්මාරකයක් විනාශවීමේ හෝ ඉවත් කිරීමේ තත්ත්වයක් ඇති වී ඇතැයි හෝ නොසලකා හැරීම නිසා හානි සිදුවන තත්ත්වයකට පත්ව ඇති බව ඇමතිවරයාට පෙනී යන අවස්ථාවකදී සහ පොදු යහපත සඳහා ඒ ස්මාරකය ආරක්ෂා කළ යුතුයැයි ඇමතිවරයාට පෙනී යන්නේ නම් ආඥාපනතේ 19 වන වගන්තියට යටත් ව ඒ ස්මාරකය නම් කළ දිනයක සිට ආරක්ෂිත ස්මාරකයක් ලෙසින් ගැසට් කර ප්‍රකාශ කළ හැක. 19 වන වගන්තියට අනුව එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර ඇමතිවරයා විසින් එසේ නියෝගයක් කරනා බවට වන අදහස ගැසට් පත්‍රයක පල කල යුතු වේ. එසේම ඒ සඳහා වන විරෝධතා ඇත්නම් විරෝධතා ඉදිරිපත් කිරීමේ දිනයක් ද එහිදී දැන්විය යුතු ය. එවැනි විරෝධතා වේ නම් එය පුරාවිද්‍ය අධ්‍යක්ෂක ජනරාල්වෙත යොමු කළ හැක. එසේම ඒ විරෝධතා ලිඛිතව ඊට හේතු ද සහිතව දැන්විය යුතු වේ. එවිට අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් වාර්තාවක් ද සමඟ ඒ විරෝධතා ඇමතිවරයාට යොමු කරයි. එම විරෝධතා ඇමතිවරයා විසින් විමර්ශනය කළ යුතු වේ. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයක් ඇමතිවරයාට අනුගමනය කළ හැක.
අනෙක් අතට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට මෙවැනි ස්මාරකයක් ඇති ඉඩමක ඉඩම් හිමියකු සමඟ ඒ ආරක්ෂිත ස්මාරකය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹිය හැකි අතර ඒ ගිවිසුම මුද්දර ගාස්තුවෙන් නිදහස් බව ආඥාපනතේ 20 වන වගන්තියේ දැක් වේ.
මෙවැනි ආරක්ෂිත ස්මාරකයක අළුත්වැඩියා කිරීම් ආදී වෙනස් කිරීම් කළ හැක්කේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ලබා ගත් කොන්දේසි සහිත බලපත්‍රයක් මත හෝ ඉහත කී ගිවිසුම ප්‍රකාරව පමණි. ඔබගේ නිවස ආරක්ෂිත ස්මාරකයක් බවට නම් කළහොත් එය ඔබට ඕනෑ විදියට අළුත්වැඩියා කළ නොහැකි බව මෙනිසා ඔබ සිහි තබා ගත යුතු ය. අනෙක් අතට බලපත්‍රයක් නිකුත් කිරීම අධ්‍යක්ෂක ජනරාල්වරයාට ප්‍රතික්ෂේප ද කල හැක. මේ බලපත්‍රයේ කොන්දේසි ඇතුලත් කිරීම අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාර්යයකි. මේ පිළිබඳව වැඩිදුර විස්තර ආඥාපනතේ 21 වන වගන්තියේ දැක් වේ. එසේම මේ ආකාරයට නිකුත් කරන බලපත්‍රයක් අවලංගු කිරීමට ආඥාපනතේ 22 වන වගන්තිය අනුව අධ්‍යක්ෂක ජනරාල්වරයාට බලය ඇති අතර එවැනි විටක අතෘප්තියට පත් පාර්ශ්වයට ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් අභියාචනයක් කළ හැකි නමුත් ඇමතිවරයා ඒ අනුව ලබා දෙන තීරණය අවසානාත්මක වේ.
ඉහත ඡේදයේ ආකාරයට බලපත්‍රයක් නිකුත් නොකරන හෝ නිකුත් කළ බලපත්‍රයක් අවලංගු කරන අවස්ථාවකදී ඒ ආරක්ෂිත ස්මාරකය අළුත්වැඩියා කිරීම ආදී කටයුතු අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සිදු කරයි. ඔහු හෝ ඔහුගේ නියෝජිතයකු විසින් ඒ කාර්යයන් සිදුකිරීමේ දී ඒ සඳහා ඉඩ සැළැස්වීම ආරක්ෂිත ස්මාරකය අයිතිකරුගේ යුතුකම වේ. එසේම අයිතිකරුට එහිදී කිසිඳු වන්දියක් ඉල්ලීමක් කළ නොහැක.
රජයේ ඉඩමක ඇති පැරණි ස්මාරකයක් හෝ ආරක්ෂිත ස්මාරකයක් පිහිටා ඇති ස්ථානයක සිට යම් සීමාවක් තුළ ඕනෑම ඉඩමක සිදු කරන ඉදිකිරීම්, කැණීම්, පිපිරවීම්, ගල් කැඩීම් ආදී කටයුතු තහනම් කරමින් නියෝග පැනවීමට ආඥාපනතේ 24 වන වගන්තියෙන් බලය ලැබී තිබේ. මේ ආකාරයට සාදන නියෝග අනෙක් සියලු නීතීන් අභිබවා ක්‍රියාත්මක වේ. මෙවැනි නියෝගයක් නිකුත් කළ විට ඒ අනෙක් ඉඩමේ හිමිකරුට පාඩුවක් විය හැකි බව සාමාන්‍ය කරුණෙ කි. එවැනි අයකුට වන්දි සඳහා හිමිකම් පෑමේ ප්‍රතිපාදන ආඥාපනතේ 25 වන වගන්තියේ ඇතුළත්ව ඇත.
යම් තැනැත්තකු විසින් රජයේ ඉඩමක පිහිටි යම් ආරක්ෂිත ස්මාරකයක් හෝ පැරණි ස්මාරකයක් හෝ සිතා මතාම විනාශ කරන, එයට හානි කරන, එය විරූප කරන හෝ අයුතු ලෙසින් වෙනස් කරන අවස්ථාවක නැත්නම් යම් තැනැත්තන් පංතියක් විසින් පූජනීය ලෙස හෝ ගෞරවයෙන් සලකනු ලබන යම් පැරණි ස්මාරකයක් මත, එයට, එය අසල හෝ එය සම්බන්ධයෙන් ඒ පුද්ගල පංතියේ ආගමික හැඟීම් රිද්දවන හෝ ප්‍රකෝප කරවන සුලු සිදුවීමකට ඉඩ ඇති යම් ක්‍රියාවක් කරන තැනැත්තකු වරදක් කරන අතර (ආඥාපනතේ 31 වන වගන්තිය) මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකදී වැරදිකරු බවට පත්වුවහොත් රු.50,000/- ත් රු.250,000/- ත් නො ඉක්මවන දඩයකට හෝ අවුරුදු 2 ත් 5 ත් අතර දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඬුවම් දෙකටම යටත් විය හැක. මෙවැනි වරදකට සැකකරුවකු වන අයකුට හෝ චෝදනා ලැබූවකුට ද ආඥාපනතේ 15ඇ වන වගන්තිය ප්‍රකාරව ඇප නො ලැබේ. නඩු විභාගය සඳහා අදාල ස්මාරකය ඔප්පු කිරීම සඳහා ගැසට් නිවේදනය පැමිණිල්ලට භාවිතා කළ හැක.
අනෙක් අතට ආඥාපනතේ 32 වන වගන්තිය අනුව ආඥාපනතේ 21 වන වගන්තිය කඩ කරන්නෙකු හෝ 24 වන වගන්තිය යටතේ සකස් කළ රෙගුලාසි කඩ කරන්නෙකු ද ඉහත කී දඬුවමට ම යටත් වේ.
පුරාවස්තු, පැරණි ස්මාරක සහ ආරක්ෂිත ස්මාරක සම්බන්ධයෙන් ආඥාපනතට අනුව ඉහතින් සාකච්ඡා කළෙමු. මීළඟට අපි සාකච්ඡා කරන්නේ පුරාවිද්‍යා සංරක්ෂණ භූමි සම්බන්ධයෙනි. මේ පිළිබඳව ආඥාපනතේ 4 වන පරිච්ඡේදයේ විධාන දක්වා තිබේ. පුරාවිද්‍යා සංරක්ෂණ භූමියක් හඳුනාගෙන, යම් ඉඩමක් ඒ ආකාරයට නම් කිරීමට බලය ඇත්තේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාට ය. ඉඩම් කොමසාරිස්වරයාගේ අනුමැතිය සහිතව හෝ ඉඩම් කොමසාරිස්වරයා අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක දී රජයේ ඉඩම් සම්බන්ධ ඇමතිවරයාගේ අනුමැතිය සහිතව නිශ්චිත භූමි ප්‍රදේශයක් පුරාවිද්‍යා සංරක්ෂණ භූමියක් ලෙසින් ගැසට් කිරීමේ බලය ආඥාපනතේ 33(1) වන වගන්තියෙන් අධ්‍යක්ෂක ජනරාල්වරයාට පවරා තිබේ. ආඥාපනත බලාත්මක වීමට පෙර දී වුවද යම් රජයේ ඉඩමක් ගැසට් කර හෝ නොකර පුරාවිද්‍යා සංරක්ෂණ භූමියක් ලෙසින් වෙන් කර තිබුනේ නම් එයද මේ යටතේ පුරාවිද්‍යා සංරක්ෂණ භූමියක් ලෙසින් සැලකේ. මෙවැනි සංරක්ෂණ භූමියක් ශුද්ධ කරන, වැවීම් කරන, ඕනෑම ඉදිකිරීමක් සිදු කරන, ගස් විනාශ කරන හෝ වැටීමට සලස්වන හෝ කුමනාකාරයෙන් හෝ අල්ලා ගැනීමට කටයුතු කරන අධ්‍යක්ෂක ජනරාල්වරයා හෝ ඔහුගේ බලය නොමැති ඕනෑම තැනැත්තකු වරදක් කරන අතර ආඥාපනතේ 34 වන වගන්තියට අනුව වරදකරු කළ විටදී රු.1,000/- ත් රු.5,000/- අතර දඩයකට හෝ මාස 3 ක් නො ඉක්මවන දෙයාකාරයෙන් එක් ආකාරයක සිරදඬුවමකට හෝ මේ දඬුවම් දෙකටම යටත් වේ. එසේම මේ දඬුවම දෙන අවස්ථාවේ දී ම අදාළ භූමියෙන් ඒ තැනැත්තා ඉවත් කිරීමේ ආඥාවක් ද නිකුත් කළ යුතු ය. කෙසේවෙතත් වරද සිදු කරන ලද්දේ යම් ඉඩමක් සම්බන්ධයෙන්ද  ඒ ඉඩම ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත යටතේ හෝ ඒ ආඥාපනතෙන් අවලංගු කරනු ලැබූ යම් ප්‍රතිපත්තියක් යටතේ හෝ රජයේ දේපලක් ලෙසින් ප්‍රකාශ කර ඇත්නම් හෝ ඉඩම් අත්පත් කර ගැනීමේ ආඥාපනත යටතේ රජය විසින් අත්කර ගෙන ඇත්නම් හෝ වරද කිරීමට පෙරාතුව රජය සතුව තිබුනේ නම් මිස මේ වගන්තිය යටතේ කිසිවකු වරදකරුවකු නොකළ යුතු ය.
මේ ආකාරයට මහේස්ත්‍රාත්වරයා ලබා දෙන වරදකරු කිරීමේ තීන්දුවකට එරෙහිව අභියාචනයක් කර ඇත්නම් ඒ තීන්දුව නියත කර ලබා දෙන අභියාචනා තීන්දුවට පසුව හෝ වරදකරු කළ තීන්දුවට එරෙහිව නියමිත ලෙසින් අභියාචනයක් කර නොමැත්තේ නම්, අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ඉල්ලීම මත පිස්කල් හෝ සාම නිලධාරියා මාර්ගයෙන් අදාළ වරදකරු භූමියෙන් නෙරපා එහි බුක්තිය අධ්‍යක්ෂක ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයකුය බාර දීමේ නියෝගයක් මහේස්ත්‍රාත්වරයාට සිදු කළ හැක.
අතීතයේ පටන්ම ලංකාවේ පුරාවස්තු විදෙස් ගත කිරීමේ ජාවාරම පිළිබඳව කසුකුසුව පැවතිනි. ඒ සඳහා ලෝක වෙළඳපොලෙන් හොඳ මිලක් ලැබීම මීට ප්‍රධානම හේතුව යි. පුරාවස්තු ආඥාපනත මඟින් මෙය වළක්වා ඇති අතර යමකු ලංකාවේ පුරාවස්තු විදෙස් ගත කරන්නේ නම් එය සිදුකළ හැකි ආකාරය පිළිබඳව වන ප්‍රතිපාදන ද දක්වා ඇත. ඒ සම්බන්ධයෙන් ආඥාපනතේ 5 වන පරිච්ඡේදය අදාළ වේ.
ඒ අනුව කිසිඳු තැනැත්තකු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බලපත්‍රයක් නොමැතිව කිසිඳු පුරාවස්තුවක් ශ්‍රී ලංකාවෙන් පිටතට අපනයනය නොකළ යුතු ය (36 වන වගන්තිය). රේගු ආඥාපනතේ විධාන සඳහා පුරාවස්තු සැලකෙන්නේ අපනයනය සීමා කර ඇති අයිතම ලෙසිනි. බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදය සහ ප්‍රතික්ෂේප කළ අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීම පිළිබඳව ආඥාපනතේ 37, 38 වන වගන්තිවල ප්‍රතිපාදන ඇතුළත් වේ. ආඥාපනතේ 39 වන වගන්තියට අනුව යම් පුරාවස්තුවක් කොළඹ හෝ ලංකාවේ වෙනත් කෞතුකාගාරයක අවශ්‍යතාවය සඳහා ලබා ගැනීමේ අරමුණින් ඒ පුරාවස්තුව අපනයනය කිරීමේ බලපත්‍රය ප්‍රතික්ෂේප කරන අවස්ථාවකදී සහ අදාළ කෞතුකාගාරයට පුරාවස්තු මිලට ගැනීම සඳහා පත් කර ඇති අධිකාරියත් පුරාවස්තුවේ අයිතිකරුත් අතර මිල සම්බන්ධයෙන් වන ආරවුලකදී, ඒ මිල ආඥාපනතේ 45 වන වගන්තියේ ප්‍රකාරව නිරාකරණය කළ යුතු අතර ඒ පිළිබඳව වන තීරණය අවසානාත්මක වේ. එහිදී නියම කළ මිල ගෙවීමෙන් පසුව අදාළ පුරාවස්තුව කෞතුකාගාරයේ දේපල බවට පත් වේ. කෙසේවෙතත් නියමිත මිල නියම කළ දින මාස 2 ක් තුළ පුරාවස්තුවේ හිමියාට නොගෙවන්නේ නම් එවිට ඒ සම්බන්ධයෙන් කෞතුකාගාරයට ඇති හිමිකම් අවසන් වන අතර අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිසියාකාරයෙන් අපනයනය සඳහා වන බලපත්‍රයක් නිකුත් කළ යුතු ය.
දැන් ඉහතින් අවස්ථා ගණනකදී අප විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා පිළිබඳව සඳහන් කළෙමු. ආඥාපනතේ 6 වන කොටස ඔහුගේ බලතල පිළිබඳව දක්වා තිබේ. 40 වන වගන්තියේ ඒවා දක්වා ඇත. මෙහිදී එම බලතල සියල්ලම දැක්වීමට අප අදහස් නොකරමු. කෙසේවෙතත්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීම හා පවත්වා ගෙන යෑම මෙන්ම ශ්‍රී ලංකා පුරාවිද්‍යා උරුමයේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම විශේෂයෙන්ම ප්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික, පුරාතන ඓතිහාසික, මධ්‍යම ඓතිහාසික හා පශ්චාත් ඓතිහාසික යුග හා සාමාන්‍ය හෝ නිශ්චිත මත, ක්‍රම හා අභ්‍යාස සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීමට ඒ තුළදී අනිකුත් කරුණු අතර ඔහුට බලය ලැබී ඇත. යම් තැනැත්තකුගේ සන්තකයේ ඇති පුරාවස්තු පරීක්ෂා කිරීමට ඔහුට ඇති බලය ආඥාපනතේ 43 වන වගන්තියේ දැක් වේ. සමහර අවස්ථාවලදී පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ඉඩම් වල ද සංවර්ධන කටයුතු සිදුකිරීමට අවශ්‍ය විය හැක. එවැනි විට එකී යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව හානි ඇගයුම් අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සිදු කළ යුතු වේ. ආඥාපනතේ 43අ වන වගන්තිය මෙහිදී වැදගත් ය. යම් අවස්ථාවලදී එවැනි ව්‍යාපෘතියක් අනුමත කිරීමට අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ වාර්තාවක් අවශ්‍ය වේ.
ආඥාපනතේ ප්‍රතිපාදන අනුව ආඥාපනතේ ප්‍රතිපත්ති සහ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නියෝග සෑදීමේ බලය ඇත්තේ ඇමතිවරයාට ය. එසේ සාදන නියෝග එම නියෝග අනුමත කළ යුතුය යන යෝජනාව මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර පාර්ලිමේන්තුව අනුමත කරන තුරු මේ නියෝග බලාත්මක නොවේ. අනුමත කළ පසු ඒවා ගැසට් කළ යුතු ය. එසේ අනුමත කර ගැසට් පත්‍රයේ පල කරන නියෝගයක් ආඥාපනත යට‍තේ පනවනු ලැබූවක් මෙන් වලංගු සහ බල සහිත වන්නේ ය.
වැදගත් කරුණු
  • පුරාවස්තු ආඥාපනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග කිරීමේ අධිකරණ බලය ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයට ය.
  • පුරාවස්තු ආඥාපනත යටතේ වන වරදක් සඳහා චෝදනා ලැබූවකුට හෝ සැකකරුවකුට ඇප ලබා ගැනීමේ හැකියාව නැත.
  • පුරාවස්තු පිළිබඳව වන නඩුවකදී අදාළ නඩු භාණ්ඩය පුරාවස්තුවක් බව ඔප්පු කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලබා දෙන සහතිකය බැලූ බැල්මට පෙනෙන සාක්ෂියක් වන්නේ ය. නමුත් ඒ සහතිකය නොලැබීම ම නඩු විභාගයක් ඇරඹීමට බාධාවක් නොවේ. එහි බලපෑම ඇත්තේ අදාළ නඩු භාණ්ඩය පුරාවස්තුවක් බවට ඔප්පු කිරීම සම්බන්ධයෙනි.
  • ආඥාපනත යටතේ සාම නිලධාරියා යන්නට පොලිස් නිලධාරියකු මෙන්ම දිසාපතිවරයා විසින් බලය ලබා දී ඇති ග්‍රාම නිලධාරීවරයකු ද ඇතුළත් වේ.
  • නැති වූ දේපල පිළිබඳ ආඥාපනතේ විධාන පුරාවස්තු සම්බන්ධයෙන් අදාළ නොවේ.
  • 2005 අංක 38 දරන සංචාරක කටයුතු පිළිබඳව පනතේ 29 වන වගන්තිය අනුව යම් අවස්ථාවලදී පුරාවස්තු ආඥාපනතේ බලතල අධිකාරියට පැවරිය යුතු ය.
  • 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 31 වන වගන්තිය බලන්න.
  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවේ ඇති ආරක්ෂිත ස්මාරක ලැයිස්තුව සඳහා දිගුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *