කල්බදු පහසුකම යටතේ වන භාණ්ඩ අත්පත් කර ගැනීම සහ දණ්ඩ නීති සංග්‍රහය

කල්බදු පහසුකම යටතේ වන භාණ්ඩ අත්පත් කර ගැනීම සහ දණ්ඩ නීති සංග්‍රහය.

මෙම ලිපිය කිසිඳු තැනැත්තකු අරඹයා හෝ කිසිඳු ආයතනයක්, පුද්ගල කොට්ඨාශයක් අරඹයා ප්‍රසිද්ධ කරන්නක් නොවන අතර අදාළ නෛතික තත්ත්වය පිළිබඳව කෙටි හැඳින්වීමක් කිරීම සඳහා පමණක් ලියන ලද්දකි.
වර්තමානය වන විට විවෘත ආර්ථිකය සමඟ නොයෙකුත් මූල්‍ය ව්‍යාපාර ලංකාවේ බිහි ව ඇති අතර ඒ ආයතන ඇරඹීමට හේතුවන ආකාරයට මිනිස් අවශ්‍යතා වැඩි දියුණු වී ඇත. සමහරුන් නොයෙකුත් යන්ත්‍ර සූත්‍ර ව්‍යාපාර කටයුතු සඳහා අත් කර ගන්නා අතරේ සමහරු ජීවිකාව සපයා ගැනීම උදෙසා යන්ත්‍ර සූත්‍ර අත් කර ගනී. තවත් අය විනෝදයට යන්ත්‍ර සූත්‍ර අයිති කර ගනී. කෙසේවෙතත් අතේ ඇති මුදල් අදාළ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවුන විට වර්තමානයේ දී බැංකු ණයට අමතරව කුලී සින්නක්කර, උකස්, කල්බදු පහසුකම් ආදී මූල්‍ය ක්‍රමවේදයන් හරහා ඒ ඉතිරි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට මහජනයා පෙළඹෙති. එයින් පොදු මහජනතාවට අදාළ කල්බදු මූල්‍ය පහසුකම් පිළිබඳව පමණක් මෙහිදී අප සාකච්ඡා කරන්නේ දණ්ඩ නීති සංග්‍රහය ද සැලකිල්ලට ගනිමිනි.
ලංකාවේ අපරාධ නීතිය සම්බන්ධයෙන් ප්‍රමුඛත ම නීතිය දණ්ඩ නීති සංග්‍රහය වේ. ඉංග්‍රීසි පාලන සමයේ හඳුන්වා දුන්න ද අදටත් යම් යම් සංශෝධනයන්ට යටත්ව ඒ දණ්ඩ නීති සංග්‍රහය ලංකාවේ අපරාධ නීතිය සවිමත් කරමින් ක්‍රියාත්මක වෙයි.
කල්බදු මූල්‍ය පහසුකම් සහ පාර්ශ්වකරුවන්ගේ යුතුකම් කීපයක්
කල්බදු මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් වන විට ලංකාවේ වැදගත් ම නීතිය වන්නේ සංශෝධිත 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත වේ. මේ පනතේ 11 වන වගන්තියට අනුව කල්බදු පහසුකම් මත ලබා ගන්න යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ පූර්ණ සහ නිර්බාධිත බුක්ති විඳීමේ අයිතිය, ඒ කල්බදු පහසුකම අවසන් කරනා තුරු ඇත්තේ බදු ගැණුම්කරුවාට ය. ඒ අයිතිය ආරක්ෂා කිරීම බදු දීමනාකරුගේ වගකීම වේ. දැන් මේ බදු දීමනාකරු යනු කල්බදු පහසුකම් සපයන ආයතන වේ.
බදු ගැණුම්කරුට ද වගකීම් නැතුවා නොවේ. ඔහු විසින් කල්බදු පහසුකම යටතේ ලබා ගත් භාණ්ඩය ආරක්ෂා කර ගත යුතුවා සේම ලබා ගත් අරමුණ සඳහා යොදා ගත යුතු වේ. හැකි උපරිමයෙන් කල්බදු ගිවිසුම යටතේ ලබා ගත් භාණ්ඩය ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමට ඔහු විසින් සුදුසු පියවර බදු ගැණුම්කරු සමඟ සාකච්ඡා කොට ගත යුතු ය. අනෙක් අතට බදු ගැණුම්කරු කල්බදු ගිවිසුම කල්පිරෙන අවස්ථාවේ දී නැත්නම් ඊට පෙර පනත යටතේ එය අවසන් වුවහොත් පනතේ 12(ඇ) වන වගන්තියේ දැක්වෙන ආකාරයට, එනම් ලබා ගත් ආකාරයට ම, බදු ගැණුම්කරුට භාණ්ඩ භාර දිය යුතු වේ. මීට වඩා කාලයක් භාණ්ඩ ලඟ තබා ගැනීමට හැකියාව ඇත්තේ ඒ සඳහා වන අයිතිය ලබා ගන්නේ නම් පමණි. පනතේ 15 වන වගන්තියට අනුව මේ ආකාරයට භාණ්ඩය ආපසු ලබා දීමට බදු ගැණුම්කරු අසමත්වන්නේ නම් එහි බුක්තිය ආපසු ලබා ගැනීමේ අයිතිය ඇත්තේ බදු දීමනාකරුට ය.
පනතේ 20 වන වගන්තියට අනුව බදු දීමනාකරුට ගිවිසුමේ කොන්දේසි නිසි ලෙසින් සම්පූර්ණ කිරීමට නොහැකි වන අවස්ථාවක දී එය අදාළ ගිවිසුම හරයාත්මක ලෙසින් කඩ කිරීමක් බවට පත් වේ නම් එවිට පනතේ 21 වන වගන්තියට යටත්ව,
(අ)       ගිවිසුමේ ප්‍රතිපාදන අනුව ගෙවීමට නියමිතව ඇති මුදල, වාරික වැඩියෙන් ගෙවීමෙන් අවසන් කිරීමට හෝ
(ආ)     ඒ ආකාරයට වැඩි මුදලක් ගෙවීමට බදු ගැණුම්කරු අපොහොසත්වන අවස්ථාවක කල්බදු ගිවිසුම අවසන් කිරීමට හැකියාව බදු දීමනාකරුට හැකියාව ඇති අතර ඒ අනුව,
            (1)       ලබා දුන් භාණ්ඩයේ බුක්තිය ආපසු ලබා ගැනීමට සහ
            (2)       අලාභ ලබා ගැනීමට (අලාභ ගණනය කිරීම පිළිබඳව පනතේ 22 වන වගන්තියේ ප්‍රතිපාදන දැක් වේ.)
 බදු දීමනාකරුට හැකියාව ඇත.
කෙසේවෙතත් 20 වන වගන්තිය යටතේ බදු ගැණුම්කරු විසින් ගිවිසුම අවසන් කිරීමට පෙර හෝ වැඩි මුදලක් ගෙවීමට නියම කිරීමට පෙර,
(අ)       ගිවිසුමට අනුව හරයාත්මක කඩ කිරීමක් සිදුව ඇත්තේ කෙසේ ද යන්න
(ආ)     ඒ කඩ කිරීම නිවැරදි කිරීම සඳහා නියමිත දිනයක් ද දක්වමින්
ලියාපදිංචි තැපෑලෙන් වන දැන්වීමක් බදු ගැණුම්කරුට යැවිය යුතු බව පනතේ 21 වන වගන්තියේ දැක් වේ. පනතේ 20 වන වගන්තිය අනුව කටයුතු කිරීමට බදු දීමනාකරුට හැකියාව ලැබෙන්නේ ඒ දැන්වීමට අනුව බදු ගැණුම්කරු කටයුතු නොකරන විටදී පමණි. අලාභ අය කර ගැනීම සම්බන්ධයෙන් වන විට බදු දීමනාකරුට ඇති නොහැකියාවන් පිළිබඳව පනතේ 23 වන වගන්තියේ ප්‍රතිපාදන දැක් වේ.
කල්බදු පහසුකම ලබා දුන් භාණ්ඩයක් බදුකරු විසින් නැවත ලබා ගැනීම
කල්බදු මූල්‍ය පහසුකමක් මත බදු ගැණුම්කරුවකුට ලබා දුන් භාණ්ඩයක් අත්පත් කර ගැනීමේ අයිතිය බදු දීමනාකරුට පැමිණි විට ක්‍රම දෙකකට ඒ භාණ්ඩය අත්පත් කර ගත හැක. ඒ බදු ගැණුම්කරුගේ එකඟතාවයෙන් හෝ අධිකරණය මඟිනි.
මින් මුල් අවස්ථාව පිළිබඳව පනතේ 27 වන වගන්තියේ දැක් වේ. ඒ අනුව කරුණු 3 ක් සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් මුල් අවස්ථාව යටතේ බදු දීමනාකරුට භාණ්ඩය අත් කර ගත හැක. ඒ අවශ්‍යතා වන්නේ,
(අ)       තමුන්ට ලද අයිතිය පිළිබඳව භාණ්ඩය ඇති ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම,
(ආ)     ඒ අයිතිය ක්‍රියාත්මක කිරීමේ දී සාමය කඩවීමේ තත්ත්වයක් මතු වන්නේ නම් එය වැළැක්වීම සඳහා එකී පොලීසියේ නිලධාරියකුගේ සහාය ලබා ගැනීම,
(ඇ)      භාණ්ඩය ඇති තැනැත්තාගේ භාරයෙන් විරුද්ධතාවයක් නැත්නම්, ඔහුගේ භාරයෙන් ඒ භාණ්ඩය ලබා අත්පත් කර ගැනීම වේ.
මේ අවශ්‍යතා සැපිරූ විට අදාළ භාණ්ඩය අත්පත් කර ගැනීමට බදු ගැනුම්කරුට හැකියාව ඇත. 27 වන වගන්තියේ පැහැදිලිව ‘ප්‍රතිරෝධයක් ඉදිරිපත් නොවුවහොත්‘ ලෙසින් දක්වා ඇති නිසා කැමැත්තෙන් ම භාණ්ඩය භාර දෙන අවස්ථාත් පනතේ ඇති බව පැහැදිලි ය. 27 වන වගන්තිය වචනාර්ථයෙන් ම පැහැදිලි නිසා භාණ්ඩය බලෙන් ලබා ගැනීමක් එහි ඇතුළත් නොවන බව පෙනී යනු ඇත. යම් හෙයකින් ප්‍රතිරෝධය පෑමක් බදු ගැණුම්කරුගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ නම් එවිට 27 වන වගන්තිය අදාළ නොවේ. එවැනි විටක අදාළ භාණ්ඩය අත්පත් කර ගැනීම සඳහා බදු දීමනාකරුට ප්‍රතිකර්ම ලබා ගත හැක්කේ 28 වන වගන්තිය යටතේ ය.
පනතේ 28 වන වගන්තිය අනුව 27 වන වගන්තිය යටතේ භාණ්ඩයක් අත්පත් කර ගැනීමට නොහැකි වූ විට නැත්නම් ඒ ආකාරයට භාණ්ඩය ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු වේ යැයි සාධාරණව විශ්වාස කිරීමට බදු දීමනාකරුට කරුණු ඇති විට කල්බදු ගිවිසුම ඇති වූ ප්‍රදේශයේ දිසා අධිකරණයට ඒ භාණ්ඩයේ සන්තකය ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළ හැක. ඒ කරනා ඉල්ලීමේ වගඋත්තරකරු බදු ගැණුම්කරු වන අතර ඉල්ලීම පෙත්සමකින් හා දිව්රුම් පෙත්සමකින් කළ යුතු ය. පෙත්සමේ (අ) කල්බදු ගිවිසුමේ දිනය, (ආ) ගිවිසුම යටතේ කළ ගෙවීම් වේ නම් ඒ ද, (ඇ) බදු ගැණුම්කරුගේ පැහැර හැරීම විස්තර කෙරෙන අවස්ථානුගත කරුණු දැක්විය යුතු වේ. පෙත්සමට කල්බදු ගිවිසුමේ සහතික පිටපතක් ඇමිණිය යුතු ය. එකී පෙත්සමේ හා දිව්රුම් පෙත්සමේ කරුණු මෙන්ම ලේඛන ද සැලකිල්ලට ගැනීමෙන් පසු අදාළ භාණ්ඩය අත්කර ගැනීම සඳහා බැලූ බැල්මට අයිතිය පෙත්සම්කරුට පවතින්නේයැයි අධිකරණයට පෙනී යයි නම්, ඒ භාණ්ඩයේ සන්තකය පෙත්සම්කරුට පැවරීමට බල කරමින් වන අතුරු නියෝගයක් අධිකරණය විසින් කළ යුතු ය. මේ නියෝගය වගඋත්තරකරුට භාර දී දින 14 ක් තුළ ඒ අතුරු නියෝගය ස්ථිර නියෝගයක් නො කිරීමට ප්‍රමාණවත් හේතු ඉදිරිපත් නොකරන අවස්ථාවකදී අතුරු නියෝගය අධිකරණය විසින් ස්ථිර නියෝගයක් කරයි.  යම් හෙයකින් වගඋත්තරකරු ඒ පිළිබඳව දින 14 ක් තුළ ප්‍රමාණවත් හේතු දැක්වීමක් කරයි නම් අතුරු නියෝගය අධිකරණය විසින් ඉවත් කරයි. කල්බදු ගිවිසුම යටතේ වන හිඟ අයකර ගැනීමටත් මේ ආකාරයට ම පනතේ 29 වන වගන්තිය යටතේ බදු දීමනාකරුට කටයුතු කළ හැක.
කෙසේවෙතත් අදාළ භාණ්ඩය අත්පත් කර ගැනීමට නීතියෙන් බදු දීමනාකරුට ඇති අනෙක් අයිතිවාසිකම් සීමා කිරීමක් මේ 27, 28 හෝ 29 වන වගන්ති මඟින් සිදු නොකරයි.
මේ පනතේ දී බදු ගැණුම්කරුවකුට එරෙහිව අපරාධ චෝදනාවක් ඉදිරිපත් කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් නොවේ.
දණ්ඩ නීති සංග්‍රහය
කල්බදු පහසුකම් යටතේ බදු ගැණුම්කරුවකුට ලබා දුන් භාණ්ඩවක් අත්පත් කර ගැනීමට නම් බදු දීමනාකරුට ඒ සඳහා අයිතිය ලැබිය යුතු වේ. කල්බදු මූල්‍යකරණ පනත යටතේ බදු ගැණුම්කරුවාට කෙසේවෙතත් භාණ්ඩය සඳහා ලැබෙන්නේ බුක්තික අයිතිවාසිකම පමණි. එසේම මේ සඳහා යටත්වන භාණ්ඩය චංචල දේපලක් ද වේ. මේ භාණ්ඩය අත්පත් කර ගැනීමේ අයිතිය බදු දීමනාකරුට ලැබුන විට එය ලබා ගත හැක්කේ ආකාර 3 කට පමණි. ඒ බදු ගැණුම්කරුගේ කැමැත්තෙන් ආපසු ලබා දීම, ප්‍රතිරෝදයක් නොපාන අවස්ථාවකදී ලබා ගැනීම සහ අධිකරණයේ මැදිහත්වීමෙන් යන ආකාර තුනෙනි. පනතේ මේ ආකාරයට භාණ්ඩය ලබා ගැනීම පිළිබඳව ප්‍රතිපාදන දක්වා ඇති විට වෙනත් නීතියක් ඒ සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැත. ඒ සඳහා පනතෙන් ප්‍රතිපාදනයක් සලස්වා නොතිබේ.
එසේ නම් දණ්ඩ නීති සංග්‍රහය යෙදෙන්නේ කෙසේද යන්න අප විමසිය යුතු ය.
යම් දේපලක් සඳහා පුද්ගලයකුට ඇති අයිතිය තාවකාලික හෝ ස්ථිර විය හැකි වා සේම අයිතිය තිබී බුක්තිය නොමැති විය හැකි අතර බුක්තිය තිබී අයිතිය නැති වීම ද විය හැක. කල්බදු පහසුකම යටතේ ගැණුම්කරුවකු භාණ්ඩයක් ලබා ගත් විට ඔහුට භාණ්ඩය සම්බන්ධව ලැබෙන්නේ බුක්තිය පමණි. එසේම ඔහු ඒ භාණ්ඩය පාවිච්චි කළ යුත්තේ බදු දීමනාකරුගේ අයිතිය ද ආරක්ෂා වෙන ආකාරයෙනි. එය සනාථ වෙන්නේ ආපසු භාණ්ඩය භාර දෙන විට ලබා ගත් තත්ත්වයෙන් ම එය භාර දීමට ගැණුම්කරුට සිදුවන නිසාවෙනි.
සන්තකයේ ඇති චංචල දේපලක් වංක චේතනාවෙන් ඒ සන්තකය දරන්නාගේ කැමැත්ත නොමැතිව සන්තකයෙන් ඉවත් කිරීම පිළිබඳව විධානයක් දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වේ. ඒ 366 වන වගන්තියේ ය.
Whoever, intending to take dishonestly any movable property out of the possession of any person without that person’s consent, moves that property in order to such taking, is said to commit “theft”.
මේ අනුව යම් තැනැත්තකු විසින් වංක චේතනාවෙන් එසේ කළ විට ඔහු සොරකම නම් වරද කරන්නේ යැයි 366 වන වගන්තිය කියයි. දැන් බදු දීමනාකරු, කල්බදු පහසුකම යටතේ අත්පත් කර ගැනීමේ අයිතිය ලද භාණ්ඩයක් ඒ අත්පත් කර ගැනීමේ අයිතිය හේතුවෙන් බදු දීමනාකරුගේ කැමැත්ත නොමැතිව ඉවත් කරනු ලැබුවහොත් ඔහු මේ වරද සිදු කරනා බව පෙනේ. ව්‍යවස්ථාදායකය කල්බදු මූල්‍යකරණ පනත පැනවීමේ දී ත් මේ පිළිබඳව අවධානය යොමු කර තිබූ බව ‘ප්‍රතිරෝධයක් නොමැති වූ විට‘ භාණ්ඩ ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව විධානයක් ඇතුලත් කර තිබීමෙන් ම එය පැහැදිලි වේ.
මෙහිදී කරුණක් සඳහන් කළ යුතු ය. කල්බදු මූල්‍යකරණ පනතේ ප්‍රතිපාදන අනුව ප්‍රතිරෝධයක් නොපාන අවස්ථාවේ දී භාණ්ඩය අත්පත් කර ගැනීමට යන විට සාමය කඩවීමක් සිදුවන්නේ නම් එය වැළැක්වීමට පොලිස් නිලධාරියකුගේ සහය ලබා ගැනීම පිළිබඳව දක්වා තිබේ. මේ යන පොලිස් නිලධාරියාට වුවද බදු ගැණුම්කරු විසින් භාණ්ඩය අත්පත් කර ගැනීමේ දී ප්‍රතිරෝධය පෑමක් සිදු කරයි නම් එකී භාණ්ඩය බලහත්කාරයෙන් ලබා ගැනීමට බදු දීමනාකරුට සහාය ලබා දීමේ හැකියාව නැත. එසේ කළහොත් ඔහු ද වරදක් කරන්නේ වෙයි.
මේ ආකාරයට ගැණුම්කරුගේ සන්තකයේ ඇති දේපල කල්බදු මූල්‍යකරණ පනතේ විධානවලට බාහිරව ඉවත් කිරීමේ දී දණ්ඩ නීති සංග්‍රහයේ ඇති තවත් වගන්ති කීපයක ම බලපෑමට ලක් වන බව නිරීක්ෂණය වේ.
ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 371 වන වගන්තියට අනුව සොරකම් කිරීමේ දී මරණ බයක්, වේදනාවක් ඇති කොට සොරකම කරන්නේ නම් බරපතල සිරදඬුවම් ලැබේ. එය ද මෙහිදී අදාළ විය හැක.
දණ්ඩ නීති සංග්‍රහයේ 372 වන වගන්තියේ ඇති බලෙන් ලබා ගැනීමේ වරද ද මෙවැනි අවස්ථාවක සමහර විට යෙදෙන්නට පුළුවන. එසේම එහිම 379 වන වගන්තියේ වගන්තියේ විස්තර කර ඇති ‘කොල්ලකෑමේ‘ වරද ද යෙදෙන්නට පුළුවන.
තවද, මෙවැනි අවස්ථාවක දී භාණ්ඩය සමඟ සිටින තැනැත්තකුගේ ගමන වැළැක්වීමට කටයුතු කිරීම තුළ දණ්ඩ නීති සංග්‍රහයේ 340 වගන්තියෙන් විස්තර කරන ‘සාපරාධී බලහත්කාරය‘ ද මෙහිදී යෙදිය හැක. 341 වන වගන්තියේ ඇති C නිදර්ශනය පහතින් උපුටා ඇත.
(c) Z is riding in a palanquin. A intending to rob Z seizes the pole and slops the palanquin. Here A has caused cessation of motion to Z, and he has done this by his own bodily power. A has there used force to Z; and as A has acted thus intentionally without Z’s consent, in order to the commission of an offence, A has used criminal force to Z.
එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 353 වන වගන්තියේ විස්තර කෙරෙන ‘පැහැරගැනීමේ‘ වරද ද සිදුවිය හැකි බව පෙනී යයි.
දැන්, මේ සියළු වගන්ති යෙදෙන්නේ බදු දීමනාකරුගේ වාසියට නොව බදු ගැණුම්කරුගේ වාසියට බව මෙහිදී සඳහන් කළ යුතු වේ.
බොහෝ අවස්ථාවලදී කල්බදු සමාගම් බදු ගැණුම්කරුගේ පරිශ්‍රයට ගොස් පහසුකමට අදාළ භාණ්ඩය අත්පත් කර ගන්නේ නැත. එය සිදු කරන්නේ තමුන්ගේ සේවකයන් මඟිනි. එවැනි විටක බදු දීමනාකාර සමාගමට අපරාධ වරදක් පැවරීමට හැකියාව නො ලැබෙන්නේදැයි කෙනකුට ඇසීමට හැකියාව ඇත්තේ ප්‍රතිපුරුෂ වගකීම පිළිබඳව අපරාධ නීතියේ දී සාකච්ඡා නොවෙන නිසාවෙනි. නමුත් දණ්ඩ නීති සංග්‍රහයේ දී කුමන්ත්‍රණය වරදක් විය හැකි අවස්ථා දක්වා තිබේ. මෙහිදී අදාළ වන්නේ 100 වන වගන්තියේ විස්තර කෙරෙන ‘අනුබල දීමේ‘ වරද ය. මේ පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 101 වන වගන්තියේ ඇති පහත 5 වන පැහැදිලි කිරීම බලන්න.
It is not necessary to the commission of the offence of abetment by conspiracy that the abettor should concert the offence with the person who commits it. It is sufficient if he engage in the conspiracy in pursuance of which the offence is committed.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *