වෘත්තීය ආචාර ධර්ම සහ නීතීඥවෘත්තිය – 1

තැරැව්කරණය සහ නීතීඥ වෘත්තිය

“සාරාංශයක් විදියට ගත්තොත් මේ නඩුවෙදි සිද්ධ වෙන්නේ මේකයි.
එක ලොරි ඩ්‍රයිවර් කෙනෙක්ට කොළඹ පොලිස් උසාවියෙ නඩුවක් පවරනවා ලොරියෙ වැඩිපුර බඩු පැටෙව්වා කියලා. ඩ්‍රයිවර් වරද පිළිගන්නවා. ඊට පස්සෙ විනිසුරුතුමා ලයිසන් එක ඉදිරිපත් කරන්න ඩ්‍රයිවර්ට දවසක් දෙනවා. ඉතින් මේ කියපු දවසේ ඩ්‍රයිවර් උසාවියට එන්නෙ තමන්ගේ බිරිඳයි, අම්මයි එක්ක. ඒ එන්නෙත් තමුන්ගේ හිතේ තියෙන ප්‍රොක්ටර් කෙනෙක්ගේ සේවය ලබා ගන්න සල්ලිත් අරගෙන. දැන් මේ කාලේ ඔය ප්‍රොක්ටර්, ඇඩ්වකට් කියන වෙනස තියෙන කාලේ. මෙහෙම ආපු මෙයාලට ජමාල්ඩින් කියලා කෙනෙක් හමුවෙනවා. මිනිහා ඇවිල්ලා තැරැව්කාරයෙක්. ඒ කියන්නේ නීතීඥවරුන්ට ක්ලයන්ට්ස්ලා ගෙනත් දීලා සල්ලි හම්බ කරන කෙනෙක්. ජමාල්ඩීන් කරන්නේ මේ කට්ටියව අර ආපු ප්‍රොක්ටර්ව හම්බවෙන්න නොදී වෙන ඇඩ්වකේට් කෙනෙක් ගාවට එක්ක යනවා. ඒ අනුව තමයි මේ නඩුවේ වගඋත්තරකරු ගාවට මේ පිරිසව ජමාල්ඩීන් එක්ක එන්නෙ. වගඋත්තරකරු නීතීඥවරයෙක්. ඉතින් වගඋත්තරකාරයා රු.3 ක් අරන් ඒකෙන් රු.2 ක් තමන් ලඟ තියාන, රුපියලක් ජමාල්ඩීන්ට දෙනවා. දැන් සමහරු හිතයි රුපියල් 3 ත් මහ ගානක් ද කියලා. මේ 1930 ගණන්වල රුපියලට අද වගේ නෙමෙයි හොඳ වටිනාකමක් තිබ්බ කාලයක්. ඉතින් නඩුව අඬගැහුවම විනිසුරුතුමා අර ලොරි ඩ්‍රයිවර්ට අවස්ථාව දෙනවා ලයිසන් එක ඉදිරිපත් කරන්න. හැබැයි නීතීඥවරයා පෙනී සිටින්නේ නෑ. උසාවිය කල් තැබුවට පස්සෙ අර කාන්තාවෝ දෙන්න ඒ කියන්නේ ඩ්‍රයිවර්ගේ බිරිඳයි, අම්මයි යනවා වගඋත්තරකාරයා හොයන්. ගිහිල්ලා සල්ලි ඉල්ලනවා. වගඋත්තරකාරයා තමන් ගත්ත රු.2 ආපහු දෙනවා. හැබැයි කියනවා ජමාල්ඩීන්ට දීපු රුපියල එයාගෙන් ඉල්ල ගන්න කියලා. ජමාල්ඩීන්ගෙන් ඉල්ලුවමා ජමාල්ඩීන් දෙන්න බෑ කියනවා. පස්සේ කාන්තාවෝ දෙන්න කරන්නේ සිද්ධිය පොලිස් නිලධාරියකුට පැමිණිලි කරනවා. එතැනින් තමයි වැඩේ පටන් ගන්නේ.
ජමාල්ඩීන්ට නඩුවක් පැවරෙනවා 1894 අංක 11 දරන නඩුකියන්නන් සමඟ මැදිහත්වීමේ ආඥාපනත යටතේ. මේ නඩුවට ඔහුව වැරදිකරු වෙනවා. පස්සේ වගඋත්තරකරුටත් මේ ආඥාපනතේ 2(ඈ) වන වගන්තිය යටතේ නඩු පැවරිලා වරදකරුවෙලා අභියාචනයෙදිත් දඬුවම අනුමත වෙනවා. මේ 2(ඈ) වන වගන්තිය මෙහෙමයි.
being a legal practitioner, tenders or gives any gratification, or consents to the retention of any gratification, for procuring or having procured the employment as such practitioner of himself or any other legal practitioner,
සරලව ගත්තම මේ කියන්නේ නීතීඥවරයකු විසින් තමන්ගේ සේවය හරි වෙනත් නීතීඥවරයකුගේ සේවය ලබා දෙන්න හරි අල්ලසක් ඉල්ලුවොත්, දුන්නොත් නැත්තම් අල්ලසක් තියාගන්න කැමැත්ත දුන්නොත් ඔහු වරදක් කරනවා කියලා.
මේ වගඋත්තරකරුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රූල් එකක් නිකුත් කරනවා. ඒ කියන්නේ නීතීඥවරයකු සම්බන්ධයෙන් මේ වගේ වරදක් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා වුනාම ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරන පිළිවෙලක් තියෙනවා. මුලින්ම කරන්නේ මේ රූල් එකක් නිකුත් කරලා හේතු දක්වන්න අවසර දෙන එක. ඒ අනුව වගඋත්තරකාරයා කියන්නේ තමුන් වංචාවක් කලේ නෑ, විශේෂයෙන් දක්වන්න හේතුවක් නෑ කියලා. මේ විමසීමේ දී අනාවරණය වෙනවා වගඋත්තරකාරයට නීතීඥවරයකු විදියට කාලයකට ඉස්සෙල්ලා හොඳ ප්‍රැක්ටිස් එකක් තිබ්බත් අළුතින් වෘත්තියට එකතු වන නීතීඥවරුත් එක්ක ඇති තරඟය සමඟ ක්‍රමයෙන් ඒක අඩුවෙලා ගිහින් තිබුනා නිසා ඒක මේ වගඋත්තරකාරයා පත්වෙලා තිබ්බ තත්ත්වයට පත්වෙන්න හේතුවක් වුනා කියලා. නොයෙකුත් හේතු ඉදිරිපත්වෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්න මෙහෙම කියනවා.
The Bar and its traditions exist by reason of the independence of each Advocate. He must succeed in accordance with his merits, and it would be subversive of all the traditions of the Bar if he were to employ any such assistance as that of a tout to obtain him practice. This proposition seems to us an obvious one, and it is difficult to take seriously the contention that employing a tout can under any circumstances be a venial offence.
සරලව ගත්තම ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ නීතීඥවරයා තමන්ගේ දක්ෂතාවය අනුව සාර්ථක විය යුතු බවත්, අනවශ්‍ය ඒ කියන්නේ තැරැව්කාරයෝ භාවිතා කරලා කටයුතු කරනවා වගේ උපක්‍රමවලින් සාර්ථක වෙන්න ගියොත් නීතීඥවෘත්තියෙ ගෞරවය නැති වේවි කියන එක. විශේෂයෙන්ම තැරැව්කාරයෝ යොදා ගැනීම සඳහා කිසිම සහනයක් නෑ.
ඉතින් මොකද අන්තිමට වෙන්නේ මේ වගඋත්තරකාර නීතීඥවරයාට? ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා තැරැව්කාරයෝ භාවිතා කරන මොන නීතීඥවරයකුට වුනත් නීතීඥවරයකු විදියට කටයුතු කිරීමට ඉඩ හැරීම වරදක් වෙන නිසා මේ නීතීඥවරයාව වෘත්තියෙන් ඉවත් කරන්න. ඒ ඉවත් කරන්නේ මාසෙකට දෙකකට නෙමෙයි. සම්පූර්ණයෙන්ම. මේ නඩු තීන්දුව In Re De Silva V. (1934) 37 NLR 99 විදියට වාර්තා වෙලා තියෙනවා. කැමැති කෙනකුට වැඩි විස්තර කියවලා දැනගන්න පුළුවන්.
ඔව්. සිද්ධිය පරණ නිසා අද කෙනෙක්ට කියන්න පුළුවන් මේ නඩු තීන්දුව අදට අදාළ වෙන්නෙ නෑ නේ කියලා. එහෙම නෑ. අපි ඔය කලින් කියපු 1894 අංක 11 දරන නඩුකියන්නන් සමඟ මැදිහත්වීමේ ආඥාපනත තාමත් තියෙනවා. මේ ආඥාපනතේ 3 වන වගන්තියට අනුව ආඥාපනතේ තියෙන ඕනෑම වරදකට වැරදිකරු වෙන නීතීඥවරයකුව නීතිපතිවරයාගේ හෝ සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම මත වෘත්තියෙන් ඉවත් කරන්න නැත්නම් වෘත්තිය තහනම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණ රීතිවලිනුත් කරන්න පුළුවන්. මෙනිසා අදට මේ තීන්දුව අදාළ වෙන්නෙ නැතෙයි කියලා හිතනවා නම් ඒක මහා මෝඩ කමක් තමයි.”

ගොඩ පෙරකදෝරුවන් සහ නීතීඥවරයා

සාමාන්‍ය ව්‍යවහාරයේදී නීතීඥවරයකු නොවී නීති උපදෙස් ලබා දෙන පුද්ගලයා ‘ගොඩ පෙරකදෝරුවා’ ලෙස හඳුන්වයි. ඔහු එක්කෝ නීතීඥවරුන් ඇසුරු කරමින් නැත්නම් අධිකරණයේ සිදුවීම් බලා සිටිමින් අත්දැකීම් ගෙන ඒ ඔස්සේ සේවාදායකයන්ට සේවය සපයයි. සමහරු මින් මුදල් උපයති. සමහරු කීර්තිය සඳහා කරති. සමහර අවස්ථාවලදී මොවුන්ගෙන් සේවය ලබා ගත්තෝ ‘බලන්නකො අප්පා, ලෝයර් මහත්තයාවත් දන්නෙ නෑ නේ ඕක, අහවලා තමයි වැඩේ කරන හැටි කිව්වේ. කිරි ගහට ඇන්නා වගේ තමා ඉතින්. ලෝයර් කෙනෙක්ට වඩා ගොඩ පෙරකදෝරුවා හොඳා’ ලෙසින් තවත් අයට රෙකමදාරු කරති. ඒ කෙසේවෙතත් A.R.B. අමරසිංහ මහතා නීතීඥවරුන්ට උපදෙස් දෙන්නේ මේ ආකාරයේ ක්‍රියා සඳහා නීතීඥවරුන් කිසිඳු සහයක් නොදැක්විය යුතු බවයි. Professional Ethics and Responsibilities of Lawyers කෘතියේ එක් පරිච්ඡේදයක් එතුමා මේ සඳහා වෙන් කර ඇත. කෘතිය කියවා ඇත්නම් ඔබත් එය කියවන්නට ඇත. එතුමාට අනුව නීතීඥවරයා විසින් තමන්ගේ නම හෝ වෘත්තීය සේවය, නීතීඥවරයකු ලෙසින් කටයුතු කිරීමට නීතියෙන් අවසර දී නොමැති අයකුට පාවිච්චි කිරීම සඳහා කිසි අයුරකින් හෝ අවසර නොදිය යුතු ය. සීමන් අප්පු පිළිබඳව කරුණ සහ එඩ්වින් බෙවන් පිළිබඳව කරුණ මීට උදාහරණ ය. සීමන් අප්පු කරුණේදී (4 NLR 127), බොන්සර් අගවිනිසුරුතුමා මෙලෙසින් දක්වන්නේ කලින් නම් කල ආකාරයේ අයකු සකස් කල අපරාධ අධිකරණයට ගොනු කල පුද්ගලික පැමිණිල්ලක් අනුඅත්සන් කල නීතීඥවරයකු සම්බන්ධයෙනි. ඒ කෙසේද යත්, “This is a serious offence. We have been doing all in our power to prevent petition-drawers, who are in many cases men of bad character-proctors and notaries who have been struck off the roll -having anything to do with criminal prosecutions. They have been found to be mixed up in false cases: where they were honest they have not been found to be intelligent, and where they were intelligent, not honest.

Considering the circumstances alleged in mitigation of the offence, we think Mr. S. should be suspended from the practice of his profession for three months.” ලෙසිනි. එතුමා එය “බරපතල වරදක්” ලෙසින් දකී. එඩ්වින් බෙවන් පිළිබඳව කරුණේදී (එය කෘතියේ දක්වා ඇත) අත්සන් කළ හිස් එන්තරවාසි ලිපි නිකුත් කල නීතීඥවරයකුගේ වෘත්තිය මාස 3 කට තහනම් කර තිබේ.

අමරසිංහ මහතා දක්වන ආකාරයට නීතිමය දැනුම අවශ්‍යවන නීති වෘත්තිකයන් නොවන අයට නීතිය පිළිබඳව දැනුම ලබා දීම වරදක් නොවේ. එසේම තමන්ගේ ම නඩුව වෙනුවෙන් පුද්ගලිකව පෙනී සිටින පාර්ශ්වයකට උපදෙස් ලබා දීමද වරදක් නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *