නඩු තීන්දු කියන කථා 6 – පොලිස් පහරදීම්

නඩු තීන්දු කියන කථා – පොලිස් පහරදීම්.

දැන් මේ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව නීතීඥවරු විතරක් නෙමෙයි සාමාන්‍ය ජනතාවත් කියවලා දැනගන්න ඕනා නඩු තීන්දුවක්. මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දී අපේ අධිකරණ කටයුතු කරන විශිෂ්ඨ ආකාරය පෙන්නුම් කරන හොඳම නිදසුනක් තමයි මේ. ඉතින් අපි කෙටියෙන් සාකච්ඡා කරමු.
නඩු තීන්දුවෙ කථා කරන ප්‍රධාන චරිතය අවුරුදු 14 ක ගැහැණු ළමයෙක්.
පෙත්සම්කාර ළමයාගේ කථාව.
1995.09.05 වැනිදා හිමිදිරියේ පෙත්සම්කාර ගැහැණු ළමයා වතුර ගේන්න යනවා. ආපහු ඇවිදගෙන එද්දි මේ ළමයාට පාර අයිනෙ තිබිලා හම්බ වෙනවා පුංචි රතු පාට වීදුරු පෙට්ටියක්. මේ පෙට්ටිය ඇතුලෙ තියෙන්නේ සුරයකුත් එක්ක රත්‍රං මාලයක්. ළමයා මේ පෙට්ටිය ආයිත් එහෙමම තියනවා. මේ සිද්ධිය දකිනවා ඒ ළඟ තිබුන කීර්තිරාජාගේ ගෙදර රෙදි හෝද හෝද ඉඳපු දෙන්නෙක්. උදේ 9 ට විතර ගාමිණී සහ සුනිල් කියන පොලිස් කොස්තාපල්ලා දෙන්නා ළමයාගේ ගෙදරට ඇවිල්ලා ළමයාට කථා කරනවා. කථා කරාම එන ළමයාගෙන් මොනවත් අහන්නෙවත් නැති මේ එක කොස්තාපල් කෙනෙක් ‘කීර්තිරාජගේ ගෙදරින් හොරකම් කරපු දේවල් ආපහු දෙන්න‘ කියලා කම්මුල් පාරක් දෙනවා. ඉතින් ළමයා මේ දෙන්නට පුංචි වීදුරු පෙට්ටිය ගැන කියනවා. පස්සේ කොස්තාපල් දෙන්නා ගිහිල්ලා පෙට්ටිය අරන් ඇවිත් ළමයාට කියනවා ගත්ත අනිත් දේවලුත් දෙන්න කියලා. ළමයා කියනවා එයා මොනවත් ගත්තෙ නෑ කියලා. අර කොස්තාපල්ලා දෙන්නා මේ ළමයාව ඇදගෙන යනවා කීර්තිරාජාගේ ගෙදරට. ගිහිල්ලා කෝටු පහර දෙමින් හොරකම් කරපු රු.10,000/- යි අත්ඔරලෝසු 2 යි මුදු 3 යි කරාබු 2 යි ගැන අහනවා. ඊට පස්සේ ළමයාවයි, ළමයාගේ අම්මාවයි ත්‍රීවීල් එකක දාගෙන අරන් එනවා හුංගම පොලීසියට.
පොලිස් ස්ථානයේදීත් මේ ළමයාට අර කොස්තාපල්ලා දෙන්නා හෝස් බටේකින් පහර දෙනවා. කාන්තා පොලිස් නිලධාරිනියක් බටේ උදුරගත්තම ළමයාගේ කම්මුල්වලට කම්මුල් පාරවල් ගහනවා. ගහලා ඉවරවෙලා ළමයාව අරන් යන්නේ නඩුවේ 1 වන වගඋත්තරකරු වෙච්ච හුංගම පොලිස් ස්ථානාධිපති ළඟට. එයත් අර ප්‍රශ්නම අහලා අර විදියටම තමයි ළමයාට සලකන්නේ. එතනින් නොනවතින මේ 1 වන වගඋත්තරකාරයා ළමයාට පුටුව උඩින් ඔළුව හේත්තු කරන්න කියලා, හොරකම් කරපු බඩු ආපහු දෙන්න කියලා හෝස් බටෙන් ගහනවා තුනටියට පහර කීපයක්. මේ පහර වැදිලා ළමයා බිම වැටෙනවා. වැටුන ළමයාව 1 වන වගඋත්තරකාරයා පයින් පාගනවා. පස්සේ 1 වන වගඋත්තරකාරයා ළමයාට තර්ජනය කරනවා ඉස්කෝලෙ ලඟට ගෙනිහිල්ලාත් ගහනවා කියලා. ඉතින් ළමයා අඬ අඬා කියන්නේ එයා මුකුත් වරදක් කළේ නෑ කියලා. ඉන්පස්සේ ආයිත් හෝස් බටෙන් පහර දීලා මේ ළමයාව ජීප් එකට දාන් පොලීසියේ ඉඳලා කීර්තිරාජාගේ ගෙදරට අරන් එනවා. හැබැයි ඇගේ අම්මව එක්ක එන්නෙ නෑ. ඒ ගෙදරදි කීර්තිරාජා ගෙනාපු කඹේකින් ළමයාගේ අත් පිටිපස්සට කරලා බැඳලා කොහොඹ ගහක එල්ලනවා. ගහේ අතුවල ළමයාගේ ඔළුව වැදෙනකම්ම ඉහළට ඇයව උස්සලා තියෙනවා. පස්සෙ 1 වන වගඋත්තරකාරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙක් මේ ළමයාට පහර දෙනවා, වද දෙනවා. පස්සෙ ආපහු මේ ළමයාව බිමට බාලා ජීප් එකේ දාගෙන පොලීසියට ගෙනැල්ලා තමයි අත් ලිහන්නේ.
එදා හවස ළමයාගේ අම්මා පොලීසියට ආවම පොලීසියේ දී ළමයාව දෙන්නෙ නෑ කියලා කුණුහරුපෙන් බනිනවා. ඒ වගේම නඩු දාන්න පැමිණිල්ලකුත් ලියනවා. එතකොට වෙලාව හවස 5.45 විතර වෙලා. පස්සෙ ළමයාගේ අම්මා ඒ වෙනකොට දකුණ පළාත් සභාවේ සාමාජිකයකුත් වෙච්චි අන්ද්‍රහැන්නදි නීතීඥමහත්මයාව මුණ ගැහෙනවා. ඉතින් මේ නීතීඥ මහත්මයා කථා කරාට පස්සෙ තමයි ළමයාව පොලීසිය මුදා හරින්නේ. එතකොට වෙලාව රෑ 8 විතර වෙලා. අම්මට කියනවා ඊළඟ දවසේ උදේ ළමයාත් එක්ක පොලීසියට එන්න කියලා. ඉතින් උදේ ආවම 1 වන වගඋත්තරකරු කියනවා ළමයාව ගිහිල්ල ආයුර්වේද වෛද්‍යවරයකුට පෙන්නන්න කියලා. හදිසියේ හරි ළමයාව ඉංග්‍රීසි වෛද්‍යවරයකුට පෙන්නුවොත් ළමයාට ගැහුවෙ අම්මා හරි තාත්තා හරි කියන්න කියලාත් කියනවා.
පහුවදා උදේ දෙපාරක් විතර ළමයා ලේ වමනෙ කරනවා. ළමයාව අරන් යන්නේ රන්න ඉස්ප්‍රිතාලෙට. නමුත් වෛද්‍ය නිලධාරියා ඒ වෙලාවෙ එතැන සිටියෙ නෑ. පොලීසියෙන් ගැහුවා කිව්වම පුද්ගලිකව ප්‍රතිකාර කරන වෛද්‍යවරයා ප්‍රතිකාර කරන්නෙත් නෑ. ඒත් ඒ වෛද්‍යවරයා එදා දවසට විතරක් සෑහෙන්න බෙහෙත් දෙනවා. ආයිත් දවාලෙත් ළමයා ලේ වමනෙ දානවා. පස්සෙ ළමයාගේ අම්මා තංගල්ලෙ පොලිස් අධිකාරීවරයා ලඟට ළමයාව එක්ක යනවා. අධිකාරීතුමා කියනවා තංගල්ල පොලීසියේ පැමිණිල්ලක් දාන්න කියලා. පැමිණිල්ල ලියාගත්තට පස්සෙ තමයි ළමයාව තංගල්ල ඉස්ප්‍රිතාලෙ වාට්ටුවට ඇතුල් කරන්න. පස්සෙ ළමයාව මාතර ඉස්ප්‍රිතාලෙට මාරු කෙරෙනවා. 15 වැනිදා වෙනකම් ළමයා ඉන්නෙ ඉස්ප්‍රිතාලේ. එයින් පස්සෙත් සිංහල/ඉංග්‍රීසි වෙදකම් කරන්න වෙනවා ළමයාට. පොලිසියෙන් කල තර්ජන නිසාත් අසනීප තත්ත්වය නිසාත් ළමයා ඉස්කෝලෙ යන්නෙ නෑ.
ප්‍රනාන්දු වැඩ බලන අගවිනිසුරුතුමා පෙන්වනවා ළමයා දීපු දිව්රුම් පෙත්සමත් පොලීසියට දීපු ප්‍රකාශයත් අතරේ යම් කිසි නොගැලපීම් තිබ්බත්, ළමයා මුහුණ දීපු තත්ත්වයන්ට මුහුණ දුන්නම ඒ වගේ නොගැලපීම් වෙන්න පුළුවන් කියලා.
අනෙක් අතට තංගල්ල පොලීසියට කරපු පැමිණිල්ල ඉස්සරහට අරන් නොයන්න 1 වන වගඋත්තරකරු විසින් ළමයාගේ අම්මාට බලපෑම් කරනවා. පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තොත් සල්ලි දෙනවා කියනවා. ඔය අතරෙ සාම විනිසුරුවරයකුත් ඇවිත් පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නැයි කියලා කථා කරනවා. ඒ සාම විනිසුරුවරයා අඩියෙ මුද්දරයක් ගහලා තිබ්බ කොළයකට කියවන්නත් නොදී ළමයාගේ අම්මගෙන් අත්සනකුත් ගන්නවා. ඉතින් අම්මා මේ ගැනත් ආපහු තංගල්ල පොලිස් අධිකාරී ලඟ පැමිණිල්ලක් දානවා.
1 වන වගඋත්තරකරුගේ කථාව.
ළමයාගේ ගෙදර වෙච්චි දේවල් ගැන කියද්දී 1 වන වගඋත්තරකරු වැඩි වශයෙන්ම යැපෙන්නෙ කීර්තිරාජගෙයි, හින්නිඅප්පුහාමිගෙයි සුමනපාල කියන පොලිස් නිලධාරියගෙයි දිව්රුම් පෙත්සම් මත. හවස ළමයාගේ ගෙදරට ගියා කියන එක ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එදා දවසෙ ළමයා පොලීසියේ හිටියා කියලත් ප්‍රතික්ෂේප කරනවා.
කීර්තිරාජගේ දිව්රුම් පෙත්සමට අනුව ඔහු මාකට් එකට යද්දී බෙල්ලෙ බැඳන් උන්න චේන් පොට වැටිලා තියෙනවා. පස්සෙ මෙයා දැනන් තියෙනවා ඒ මාලේ ළමයා ගත්තා කියලා. හැබැයි දැනගත්තෙ කා ගෙන්දැයි කීර්තිරාජා කියන්නේ නෑ. පස්සෙ මෙයා ළමයාගේ ගෙදරට ගිහිල්ලා මාලෙ ඉල්ලලා. මාලෙ නුදුන්න නිසා තමයි හවස 5 ට විතර හුංගම පොලීසියේ කීර්තිරාජා පැමිණිල්ලක් දාලා තියෙන්නේ. එතකොට සාජන් සුමනපාල විතරයි ළමයාගේ ගෙදරට ගිහින් තියෙන්නේ. ගිහින් මාලේ හොරකම් කරපු සිද්ධිය ගැන ළමයාගෙන් ප්‍රශ්න කරද්දී ළමයාගේ තාත්තාත් ළමයාට ගහලා තියෙනවා මාලෙ දෙන්නැයි කියලා. එහෙම ගැහුවම දුවපු ළමයා ගේ ඉස්සරහ තිබුන ගල් වලක වැටිලා තුවාල වෙලා. මේ අය උදව් කරලා තියෙනවා ළමයාට ගල් වලෙන් ගොඩට එන්න. කීර්තිරාජා දැකලා තියෙනවා ළමයාගේ ඇඟේ පොඩි පොඩි තුවාල තියෙනවා. පස්සෙ තාත්තා ළමයාට කෝටුවකිනුත් පාරවල් කීපයක් ගහලා. ඉන් පස්සෙ තමයි ළමයා හංගලා තිබ්බ මාලේ ගෙනැති දීලා තියෙන්නේ. හැබැයි කීර්තිරාජා කියන්නේ නෑ කොහේ තිබිලාද කොහොමද මේ මාලේ ගේන්නෙ කියලා. මාලේ තමන්ගේ කියලා අඳුනගත්තට පස්සෙ සාජන් සුමනපාලට කීර්තිරාජා කියලා තියෙනවා වැඩිදුර විමර්ශන ඕන නැතෙයි කියලා. සිද්ධිය වෙලා පැය එකහමාරකට විතර පස්සෙ කීර්තිරාජාට ඇහිලා තියෙනවා ළමයාගේ ගෙවල් පැත්තෙන් කෑ ගහන ශබ්දය. පස්සෙ ඔහු දැන ගෙන තියෙන්නේ ඒ ළමයාට තාත්තා ගහද්දී කෑ ගහපු ශබ්දෙ කියලා. මේ සිදුවීම හින්නිඅප්පුහාමිගෙ දිව්රුම් පෙත්සමෙන් තහවුරු වෙනවා.
සුමනපාල සාජන්ගේ දිව්රුම් පෙත්සම හරි පුංචියි. වැඩි විස්තර ඇතුළත් වෙන්නෙ නෑ. ඔහු කියන්නේ මාලෙ නැති වීම ගැන කීර්තිරාජාගේ පැමිණිල්ල ඔහු ලියාගෙන හවස 5.10 ට විතර තනියම පැමිණිල්ල විමර්ශනයට ගිය බවත්, එහිදී භාණ්ඩ හම්බවුනාම හඳුනගත්ත අයිතිකාරයට භාර දුන්න බවත්. භාණ්ඩ ලැබුනාම අයිතිකාරයා නඩුවක් අනවශ්‍යයි කී නිසා ළමයාට තදින් අවවාද කරලා ප්‍රකාශයකුත් සටහන් කරගෙන පැමිණිල්ල සමථ කරලා තියෙනවා. දිව්රුම් පෙත්සමත් එක්ක සුමනපාල අදාළ ප්‍රකාශයි, තමන්ගේ විමර්ශන සටහනුයි ඉදිරිපත් කරලා තිබුනා.
ප්‍රනාන්දු වැඩිබලන අගවිනිසුරුතුමාට අනුව මේ ස්ථාවරය කරුණු කීපයක් නිසාම පරස්පරයි. දැන් කීර්තිරාජාගේ ප්‍රකාශය අනුව හඳුනා නොගත්ත කෙනෙක් තමයි ඔහුට කියලා තියෙන්නේ ළමයා පාරෙන් මොනවා හරි ඇහිදන් යනවා දැක්කා කියලා. සුමනපාල පැහැදිලි කරන්නෙ නෑ, කීර්තිරාජාගෙන් පැමිණිල්ල ලියා ගනිද්දී මේ ගැන විස්තර ඇහුවෙ නැත්තෙ ඇයි කියලා. එතකොට ඇයි සුමනපාල මේ දැක්කයි කියපු කෙනාගෙන් විස්තර නොගත්තේ? කීර්තිරාජාට අනුව උදේ 11 වෙද්දී පාඩුව දැන ගත්තත් ඇයි හවස 5 වෙනකම් පැමිණිල්ල දාන්න පරක්කු වුනේ කියලා පැහැදිලි කිරීමකුත් නෑ.
අනෙක් අතට කීර්තිරාජා කියන්නේ ළමයාට තිබ්බෙ පොඩි තුවාල කියලා. නමුත් සුමනපාල සාජන් ඉදිරිපත් කරන ප්‍රකාශය අනුව ඊට වඩා බරපතල තුවාල ළමයාට තිබිලා තියෙනවා. විශේෂයෙන් තුනටියෙ තැල්ම. කොහොමද සුමනපාල මේක දැක්කෙ? සටහනට ඒක දැම්මෙ සුමනපාල ඒ ගැන දැන සිටි නිසා ද? එතකොට සුමනපාල කියනවා ළමයා මාලෙ ගන්නවා දැක්ක සාක්ෂි තියෙනවා කියලා. කෝ ඒ සාක්ෂි? කොහෙද මාලෙ හංගලා තිබ්බෙ? නමුත් හින්නිඅප්පුහාමි මේ ගැන කියන්නෙ වෙනස් කථාවක්. ඔහුට අනුව හවස 5.30 ට විතර මෙයා දැකලා තියෙනවා ළමයයි ළමයාගේ තාත්තායි කීර්තිරාජයි ඔහුගේ නිවස අසල තිබ්බ කැළයක් වගේ තැනකට ඇවිත් මොනවාහරි හොයාගන්නවා.
සුමනපාල සාජන්ගේගේ වාර්තා අනුව කීර්තිරාජා කියපු විස්තර වලට ඒ ගෙනාපු මාලෙ ගැලපුන නිසා තමයි කීර්තිරාජාට මාලේ දීලා තියෙන්නේ. හැබැයි කීර්තිරාජගේ ප්‍රකාශයේ එහෙම හඳුනාගැනීමේ විස්තර මුකුත් නෑ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගන්නා කථාව
කථා දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය අහනවා. දැන් කීර්තිරාජාගෙයි සුමනපාල සාජන්ගෙයි ස්ථාවර අතරෙ තියෙන පරස්පර සැලකිල්ලට ගත්තම ප්‍රනාන්දු වැඩබලන අග විනිසුරුතුමා කියන්නේ ඒ ස්ථාවරය සත්‍යයි කියලා පිළිගන්න බෑ කියලා. ඒ වගේම 6.9.95 දින ළමයාව පරීක්ෂා කිරීමේ දී අත් දෙකේම මැණික්කටුව ළඟ තිබ්බ වළල්ලක හැඩය ගත්ත තුවාල ගැන හබ නොවන වෛද්‍ය සාක්ෂිවලින් 1 වන වගඋත්තරකරුගේ ස්ථාවරයට වඩා පෙත්සම්කාර ළමයා ඉදිරිපත් කරන ස්ථාවරය පිළිගන්න පුළුවන් තත්ත්වයට පත් කරන බවයි කියලා කියන්නේ. ඒ නිසා විනිසුරුතුමා 1 වන වගඋත්තරකරුගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් පෙත්සම්කාර ළමයාගේ ස්ථාවරය පිළිගන්නවා.
මූලික විරෝධතා
මේ මූලික අයිතිවාසිකම් පෙත්සමට වගඋත්තරකරුවන් විසින් මූලික විරෝධතා ඉදිරිපත් කරනවා. මිනිස්සුන්ටයි, නීතීඥවරුන්ටයි වැදගත් වෙන්නේ අන්න ඒ විරෝධතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වපු අදහස් දැන ගැනීම.
ඒ අනුව නියමිත කාලය ඉක්මවීමෙන් පසුව පෙත්සම ගොනු කළ බව මූලික විරෝධතාවයක් විදියට මතු කෙරෙනවා. මේ විරෝධතාවය අවසර ලබා ගන්න අවස්ථාවේ දිත් මතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොසලකා හැර තිබුනත් විවාද කරන අවස්ථාවේ ආපහු 1 වන වගඋත්තරකරු විසින් මතු කර තිබුනා.
අපි දන්නවා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට අනුව මාසයක කාලයක් තුළ තමයි ඉල්ලීම ඉදිරිපත් වෙන්න ඕනා කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන ව්‍යවස්ථාව කියනවා මූලික අයිතිවාසිකම් කඩ වීමකදි ඒ සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කරන්න තියෙන අයිතියත් මූලික අයිතිවාසිකමක් කියලා. පීඩාවට පත් තැනැත්තෙක් කාල සීමාව තුළ මේ ඉල්ලීම ගොනු නොකරන්නේ අනවබෝධයෙන් නම් එතකොට කිසි සමාවක් ලැබෙන්නෙ නෑ. ඒත් මාසයක් තුළ ඉල්ලීම ගොනු කර ගන්න බැරි වෙන්නේ නැත්නම් ප්‍රමාද වෙන්නේ බරපතල නොවන හේතුවක් නිසාවෙන් නම් (උදාහරණයකට අගතියට පත් පාර්ශ්වයව අනෙක් පාර්ශ්වය විසින් වැළැක්වීම, සිරගත කිරීම, තර්ජනය වැනි අවස්ථා) නැත්නම් නොහැකියාවක් නිසාවෙන් නම් (මොකක් හෝ හානියක් වෙලා වගේ) සහ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා නැගෙන පාර්ශ්වකරුත් ඒ ප්‍රමාදයට සම්බන්ධයි කියලා පේනවානම් එතකොට ඒ ප්‍රමාදය සලකන්නේ නෑ. මේ ගැන ප්‍රනාන්දු වැඩබලන අග විනිසුරුතුමා නිදර්ශනයක් ම දක්වලා තියෙනවා මෙහෙම.
That must be so, because otherwise a person who infringes the fundamental right of another can avoid liability for that infringement simply by ensuring that the victim is detained or incapacitated for over one month.
ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 126(2) ව්‍යවස්ථාවේ දැක්වෙන මාසයක කාලය කියන්නේ මේ වගේ වැළැක්වීම නොමැති කරදරයක් නොමැතිව පෙත්සම්කරුට ඉල්ලීම කරන්න ඉඩ ලැබෙන මාසයක් කියලා.
ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙනවා පෙත්සම්කරුගේ ළමා වියත් සැලකිල්ලට ගන්න වෙනවා කියලා.  එතනදි ප්‍රනාන්දු වැඩබලන අගවිනිසුරුතුමා මෙහෙම කියනවා.
Another consideration is the minority of the petitioner. While it may be that a minor is not entitled to wait until majority to institute proceedings, minority is at least relevant in deciding whether the effect of force, duress, injury and the like has worn off.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 1 වන වගඋත්තරකරු විසින් පෙත්සම්කාර ළමයා මහේස්ත්‍රාත් ඉදිරියට ඉදිරිපත් නොකර අත්අඩංගුවේ තබා ගෙන, පහරදීමෙන් වධහිංසා කර ඇති බවත්, අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවත් තීරණය කරනවා. නඩුවේ දී පෙත්සම්කාරිය රු.200,000/- ක වන්දියක් ඉල්ලලා තිබුනා. ඒක අසාධාරණ නැහැ කියලයි කියන්නේ. ඒ වගේම මේ නඩුවෙදි ප්‍රනාන්දු වැඩබලන අගවිනිසුරුතුමා මෙන්න මෙහෙම දෙයකුත් කියනවා.
In many cases in the past this Court has observed that there was a need for the Inspector-General of Police to take action to prevent infringements of fundamental rights by Police Officers, and where such infringements nevertheless occur, this Court has sometimes directed that disciplinary proceedings be taken. The response has not inspired confidence in the efficacy of such observations and directions, and persuades me that in this case compensation is the appropriate redress.
අවාසනාව කියන්නේ අද, ඒ කියන්නේ 2020 වෙද්දිත් මේ තත්ත්වය වෙනසක් වෙලා නැති බව මූලික අයිතිවාසිකම් නඩු තීන්දු අනුව පෙනී යනවා.
රජය විසින් මෙන්ම 1 වන වගඋත්තරකරු විසින් පුද්ගලිකවත් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන්නේ මේ සියළු කරුණු සැලකිල්ලට අරගෙන. පෙත්සම්කාර ළමයාත් පවුලෙ අයටත් 1 වන වගඋත්තරකරුගෙන් හෝ හුංගම පොලීසියෙන් කිසිම තර්ජනයක් නොවෙන්න වග බලා ගැනීම පැවරෙන්නේ 2 වන වගඋත්තරකරුට.
මේ නඩුවේ තවත් විශේෂ කරුණක් තියෙනවා. මූලික අයිතිවාසිකම් නඩුව පවරන්නේ පෙත්සම්කාරිය වෙනුවෙන් නීතීඥවරියක්. ඒ ඇයට ළමයාගේ තාත්තා විසින් එවන ලියුමක් පදනම් කරගෙන. පෙත්සම සහ දිව්රුම් පෙත්සම හදන්නේ ඒ ලිපියෙ තොරතුරු අරන්. ඒ වෙද්දි ඒ කියන්නේ මුල් අවස්ථාවේ දී ම ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා ප්‍රමාදය සාධාරණීකරණය කළ හැකි නිසා නිසි කාලය තුළ පෙත්සම ඉදිරිපත් වී ඇති බව. ඒ වගේම නීතීඥවරයාට දැනුම් දෙනවා බාලවයස්කරුව නිසි පරිදි අධිකරණයේ නියෝජනය වෙන්න සුදුසු පියවර ගන්න කියලා. පස්සෙ නඩුව කැඳවුනාම නීතීඥවරයා දැනුම් දෙනවා නිසි ආකාරයෙන් ළමයාගෙන් දිව්රුම් පෙත්සමක් ගන්න බැරි වුනා, ඒකට හේතු වුනේ ළමයාගේ තාත්තා කිව්වාය මේ නඩුව ඉස්සරහට පවත්වාගෙන යන්නේ නෑයි කියලා, අන්න ඒ නිසා කියලා. එනිසා එදා නීතීඥවරයා නඩුව ඉල්ලා අස්කර ගන්න අවසර ඉල්ලනවා. ඉතින් එදා මොකක් ද ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව ඉල්ලා අස්කර ගන්න අවසර දෙන්නෙ නෑ. ඊට හේතුව මෙහෙමයි දක්වලා තිබුනේ.
“Having regard to the serious allegations of torture set out in the petition, which are supported by the complaint made on 6.9.95 (the contents of which Counsel has read out to the Court), the fact that the minor had been hospitalized for several days and continues even now to receive medical treatment, and the fact that – among other things – it is alleged that the sight of one eye has been impaired and that she has not attended school since the incident, and, in particular, the fact that Counsel himself states that he feels that the father’s wish to withdraw this application was because of pressure, we do not allow the withdrawal of the application.”
ළමයකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අපේ අධිකරණ හැමදාමත් කැප වෙලා ඉන්න බවට මේක හොඳ සාක්ෂියක්. විශේෂයෙන් ප්‍රනාන්දු වැඩබලන අග විනිසුරුතුමා කියනවා, දැන් නඩුව පවරන්නේ නීතීඥවරයා විසින් පෙත්සම්කාර ළමයා වෙනුවෙන් නිසා තුන්වන පාර්ශ්වයකගේ ඉල්ලීම මත ඒ කියන්නේ ළමයාගේ පියාගේ ඉල්ලීම මත වුනත් නඩුව ඉල්ලා අස්කරගත හැකියි කියලා හිතන්න බෑ කියලා.
ඉතින් මේ නඩු තීන්දුව වැඩිය කථා කෙරෙන නඩු තීන්දුවක් නොවුනට අපි විශ්වාස කරනවා මාධ්‍යය මඟින් වුනත් සමාජගත වෙන්න ඕනා කියලා. ඒ නිසයි අපි මේ හරහා සමාජය දැනුවත් කරන්නේ. වැඩි දුර විස්තර අවශ්‍ය අයට නඩු තීන්දුව කියවන්න අදාළ විස්තර අපි පහත ඉදිරිපත් කරලා තියෙනවා.
Nalika Kumudini, Attorney At Law, (On Behalf of Malsha Kumari) v. Nihal Mahinda, O.I.C. Hungama Police and Others – (1997) 3 Sri LR 331

Leave a Reply

Your email address will not be published. Required fields are marked *