Criminal Law, e Hand Book

 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත




මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලය ලබා දෙන තවත් පනතෙකි, 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත. මේ යටතේ ඉල්ලීමක් කළ හැක්කේ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් පීඩාවකට පත් තැනැත්තකුට ය. පනතට අනුව ‘ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාව’ යන්නෙන් පීඩාවට පත් තැනැත්තා සහ අදාළ තැනැත්තා අතර ඇති පුද්ගලික ස්වභාවයේ සම්බන්ධතාවයෙන් පැන නගින්නා වූ ද නිවසේ පරිසරය තුළදී හෝ පිටත දී අදාළ තැනැත්තකු විසින් කරන ලද හෝ ඇති කරන ලද සහ, (අ) පනතේ 1 වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති යම් වරදක් සංයුක්ත වන යම් ක්‍රියාවක්, (ආ) යම් උද්වේගශීලී බැන වැදීමක් අදහස් වේ. ‘උද්වේගශීලී බැන වැදීම’ යන්නෙන්, පීඩාවට පත් නැතැන්තකු කෙරෙහි යොමු කරන ලද බරපතල ස්වභාවයේ අවමන් කිරීමේ හෝ අපහාස කිරීමේ ක්‍රියා කලාපයක ස්වරූපයකින් යුක්ත වන්නා වූ ද, ඒ පීඩාවට පත් තැනැත්තාට බරපතල ක්ෂණික පීඩාවක් ඇති කිරීමේ බලපෑම ඇත්තා වූ ද ක්‍රියාවක් අදහස් වේ (පනතේ 23 වගන්තිය).

ඒ අනුව පීඩාවට පත් තැනැත්තා (ගෘහස්ථ පීඩාවක් සිදු කරනු ලැබ ඇත්තේ, සිදු කරනුයේ හෝ සිදු කිරීමට ඉඩ ඇත්තේ යම් තැනැත්තකුට ද ඔහු පීඩාවට පත් තැනැත්තා ය) විසින්, අදාළ ප්‍රචණ්ඩ ක්‍රියාව වැළැක්වීම සඳහා ආරක්ෂා කිරීමේ ආඥාවක් නිකුත් කරවා ගැනීමට මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළ හැකි ය (2 (1) වගන්තිය / ඉල්ලීම කළ හැකි තැනැත්තන් සම්බන්ධයෙන් 2 (2) වගන්තිය බලන්න). ඉල්ලීම කළ යුතු ආකෘතිය පනතේ 11 වන උපලේඛනයේ දක්වා ඇති අතර ඊට සාරානුකූල ලෙසින් සහ පිටපත් දෙකකින් යුක්තව, පීඩාවට පත් තැනැත්තා හෝ අදාළ තැනැත්තා තාවකාලිකව හෝ ස්ථිරව පදිංචි නැතහොත් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාව සිදු කරනු ලැබ ඇත්තේ, සිදු කරනුයේ හෝ සිදු කිරීමට ඉඩ ඇත්තේ හෝ සිදුවූ මහේස්ත්‍රාත් අධිකරණ බලසීමාවේ මහේස්ත්‍රාත්වරයාට එම ඉල්ලීම ඉදිරිපත් කළ යුතු වේ.

නඩත්තු නඩුවලදී මෙන් මෙම නඩුවලදී දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය නොවන අතර 2 (4) වගන්තිය අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාව පිළිබඳව දැනුමක් ඇති අයකුගේ දිව්රුම් ප්‍රකාශ ආධාර ලෙසින් අවශ්‍ය නම් හෝ තිබේ නම් ඉල්ලීමට අමුණනු ලැබිය හැක.

ඒ ආකාරයට ඉල්ලීමක් සිදු කර ඇති විට අධිකරණය විසින් වහාම එම ඉල්ලීම, සලකා බැලිය යුතු වේ (3 වගන්තිය).

එසේ සලකා බලන මහේස්ත්‍රාත්වරයාට ලබා දිය හැකි ආඥාවකි, අතුරු ආඥාව. අතුරු ආඥාව ලබා දීමේ දී මහේස්ත්‍රාත්වරයා විසින් ඉල්ලීම පිළිබඳ විභාග අවසන් වනතුරු අතුරු ආඥාවක් නිකුත් කිරීමට අවශ්‍ය බවට සෑහීමට පත් විය යුතු වේ (4 (1) වගන්තිය). එහිදී විශේෂයෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් යම් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීම වැළැක්වීම සඳහා වූ හදිසි අවශ්‍යතාව සහ පීඩාවට පත් තැනැත්තාගේ ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගත යුතු වේ. තවද, අතුරු ආඥාවක් නිකුත් කිරීමට පෙර අධිකරණය විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවකදී පනතේ 2 (2) වගන්තියේ සඳහන් යම් තැනැත්තකුගෙන් හෝ වෙනත් යම් වැදගත් සාක්ෂිකරුවකුගෙන් දිව්රුම් මත සාක්ෂි විමසිය යුතු ය. එසේම අතුරු ආඥාවක් නිකුත් කළ විට එම ඉල්ලීමේ දින සිට දින 14 කට නොවැඩි දිනයක දී ඉල්ලීම පිළිබඳ විභාගයක් පැවැත්වීමට ද ආඥාවක් කළ යුතු ය.

අතුරු ආඥාවක් මගින් ආරක්ෂක ආඥාවක් නිකුත් කිරීම විභාග වෙමින් පවතින අවස්ථාවක වගඋත්තරකරු විසින් යම් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීම හෝ සිදු කිරීමට කටයුතු සැලැස්වීම වළක්වනු ලැබිය යුතු ය. එසේම අතුරු ආඥාවක, පෙර දැක් වූ පරිදි පීඩාවට පත් තැනැත්තාගේ හෝ වෙනත් තැනැත්තකුගෙන් මෙහෙයවා ඇති දිව්රුම් සාක්ෂි පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට සෑහීමට පත්වන විට, ඔහුට යම් සිදුවීමක අවස්ථානුගත කරුණු අනුව සහ යම් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වැළැක්වීම සඳහා යම් තහනමක් හෝ කොන්දේසියක් අවශ්‍ය බවට පෙනී යන්නේ නම් පනතේ 11 (1) වගන්තියෙහි (අ) සිට (ඕ) දක්වා වූ අනු ඡේදවල සඳහන් වෙනත් යම් තහනමක් හෝ කොන්දේසියක් අන්තර්ගත කළ හැක.

අතුරු ආඥාවක් කර ඇති අවස්ථාවක පාර්ශ්වයන්ට උපදේශන සේවා ලබා ගැනීමට නියම කිරීමට ඇති බලය සම්බන්ධයෙන් පනතේ 5 (2) වගන්තිය බලන්න.

මේ ආකාරයට නිකුත් කරන අතුරු ආඥාවක්, ආරක්ෂක ආඥාවක් නිකුත් කරන තුරු හෝ අතුරු ආඥාව ඉවත් කරන තුරු බලාත්මකව පවතී (5 (3) වගන්තිය).

නමුත් අතුරු ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට මහේස්ත්‍රාත්වරයාට පෙනී යන විටක ඉල්ලීමේ දින සිට දින 14 කට නොවැඩි දිනයක දී විභාගයක් පැවැත්වීමට ආඥාවක් කළ යුතු ය (4 (1) (ආ) වගන්තිය).

ඉහත කී ආඥා දෙකෙන් කුමන ආඥාවක් සිදු කළද මහේස්ත්‍රාත්වරයා විසින් වගඋත්තරකරු වෙත නිකුත් කරන දැන්වීමකින් එහි සඳහන් දිනයක දී ඔහුට එරෙහිව ආරක්ෂක ආඥාවක් නිකුත් නොකළ යුත්තේ මන්ද යන්න පිළිබඳව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට නියම කළ යුතු ය. ඒ අනුව එම දැන්වීම, පෙර කී ආඥාව ද සමග වගඋත්තරකරුට භාර දීමට පිස්කල් මගින් හෝ වෙනත් බලයලත් නිලධරයකුගේ මාර්ගයෙන් කටයුතු කළ යුතු අතර, නිසි උද්යෝගයෙන් ක්‍රියා කළ ද එසේ භාර දිය නොහැකි නම්, එම ලේඛන වගඋත්තරකරුගේ සාමාන්‍ය වාසස්ථානයේ ප්‍රකාටව පෙනෙන ස්ථානයක අලවනු ලැබිය යුතු අතර එවිට ද ඔහුට භාර දුන්නා සේ සලකනු ලැබේ.

මේ ආකාරයට දැන්වීම ලබා දී එහි දැක්වෙන දින වගඋත්තරකරු අධිකරණයේ පෙනී සිටින විට දී මහේස්ත්‍රාත්වරයා විසින් ඉල්ලීම පිළිබඳව විභාගය කළ යුතු ය. මෙහිදී විභාග කරන්නේ ආරක්ෂක ආඥාව නිකුත් නොකළ යුත්තේ මන්ද යන්න බව සිහි තබා ගත යුතු වේ. එහිදී කලින් ලබා ගත් යම් සාක්ෂියක් සමඟ මහේස්ත්‍රාත්වරයා විසින් විධාන කරනු ලැබිය හැකි නඩු වාර්තාවේ කොටසක් විය යුතු දිව්රුම් ප්‍රකාශ හෝ වාචික සාක්ෂි මාර්ගයෙන් වූ වැඩිදුර සාක්ෂි මත ඉල්ලීම පිළිබඳව ද සලකා බැලිය යුතු වේ (6 (1) වගන්තිය). වගඋත්තරකරු නෛතික නියෝජිතයකු මගින් පෙනී නොසිටින විටක, අධිකරණය විසින් සිය කැමැත්තෙන්ම හෝ පීඩාවට පත් තැනැත්තාගේ ඉල්ලීම මත, (අ) පීඩාවට පත් තැනැත්තා ද ඇතුළු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාගය වගඋත්තරකරු විසින් නොකළ යුතු බවට, (ආ) ප්‍රශ්න වගඋත්තරකරු විසින් අධිකරණයට ප්‍රකාශ කිරීමට සහ එමගින් අධිකරණය විසින් ඒ ප්‍රශ්න නිවැරදිව පීඩාවට පත් තැනැත්තාගෙන් හෝ සාක්ෂිකරුගෙන් විමසීම සඳහා ආඥා කළ හැකි ය (6 (2) වගන්තිය).

විභාගයෙන් පසු ආරක්ෂක ආඥාවක් නිකුත් කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා සෑහීමට පත් වේ නම්, එවිට ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීම වැළැක්වීමේ අවශ්‍යතාවය සහ පීඩාවට පත් තැනැත්තාගේ ආරක්ෂාව සහතිකවීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ආරක්ෂක ආඥාවක් නිකුත් කළ යුතු ය. එසේම දැන්වීම ලැබ වගඋත්තරකරු අධිකරණයේ පෙනී සිටිමින් ප්‍රචණ්ඩ ක්‍රියා පිළිනොගනිමින් ආරක්ෂක ආඥාවකට විරුද්ධ නොවන විටෙක ද මෙලෙසටම කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා විසින් ආරක්ෂක ආඥාවක් නිකුත් කළ යුතු ය.

මෙම ආරක්ෂක ආඥාව මගින් (අ) යම් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුකිරීමෙන් හෝ සිදුකිරීමට සැලැස්වීමෙන් වගඋත්තරකරු වළක්වනු ලැබිය යුතු ය. එසේම (ආ) පීඩාවට පත් තැනැත්තාගේ ආරක්ෂාව සහ යහපත සහතිකවීම සඳහා එසේ කිරීම අවශ්‍ය බව සිද්ධිමය කරුණු හේතු කොට ගෙන සහ අවස්ථාවෝචිත පරිදි, පීඩාවට පත් තැනැත්තා විසින් හෝ ඔහු වෙනුවෙන් වෙනත් යම් තැනැත්තකු විසින් හෝ වෙනත් වැදගත් සාක්ෂිකරුවකු විසින් ලබා දෙන දිව්රුම් සාක්ෂියක් මත මහේස්ත්‍රාත්වරයා සෑහීමට පත්ව ලබා දෙන පනතේ 11 (1) වගන්තියේ (අ) සිට (ඔ) තෙක් ඡේදවල දැක්වෙන තහනමක් හෝ 12 (1) වගන්තියේ දැක්වෙන පරිපූරක ආඥාවක්, එහි අන්තර්ගතව තිබිය හැකි ය.

එසේ නිකුත් කරන ආඥාව වගඋත්තරකරුට භාර දීමට සහ පීඩාවට පත් තැනැත්තාට වහාම ලැබීමට සැළැස්වීමට අධිකරණය විසින් කටයුතු සැලැස්විය යුතු ය (9 වගන්තිය).

ආරක්ෂක ආඥාවේ කාලය මාස 12 කි (10 (2) වගන්තිය).

* මේ පනත යටතේ වන නඩුවකදී පාර්ශ්වයන් ගේ එකඟතාවය ඇතිව අධිකරණයට, වරදකරු බවට ඔප්පුවීමක් නොමැතිව හෝ වරදකරු බවට පිළිගැනීමක් නොමැතිව පෙර පරිදි ආඥාවක් කළ හැකි අතර එසේ කරන ආඥාවක්, වරදකාරීත්වය පිළිගැනීමේ හෝ වරදකරු බවට ඔප්පු වීමේ ප්‍රතිඵලයක් නිසා නිකුත් කළ බවට තේරුම් නොගත යුතු ය (13 වගන්තිය).

* එසේම මේ යටතේ නිකුත් කරන ආඥාවක් පීඩාවට පත් තැනැත්තාගේ හෝ වගඋත්තරකරුගේ ඉල්ලීම මත වෙනස් කිරීමට හෝ දීර්ඝ කිරීමට හෝ අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් පනතේ 14 වගන්තිය බලන්න.

* මේ පනත යටතේ ලබා දුන් ආඥාවකට එරෙහිව අභියාචනා කළ හැකි වූවත් එසේ අභියාචනා කළ පමණින් ම එම ආඥාවේ ක්‍රියාකාරීත්වය නතර නොවේ. එසේ නතර වන්නේ ඒ සඳහා ම වැළැක්වීමේ නියෝගයක් පළාත් බද මහාධිකරණයෙන් ලබා ගෙන තිබෙන්නේ නම් පමණි (17 වගන්තිය) .

* පනත යටතේ නිකුත් කළ අතුරු ආඥාවකට හෝ ආරක්ෂක ආඥාවකට අනුව ක්‍රියාකාරීම වගඋත්තරකරුවකු පැහැර හැරි විටක, එම වගඋත්තරකරු වරදකට වරදකරු වේ. ඒ සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගා නඩු විභාග කිරීමෙන් පසු වරදකරු වීමේ දී රු.10,000/- ක් නොඉක්මවන දඩයකට හෝ අවුරුදු 1 කට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම ඔහු යටත් විය යුතු ය (18 වගන්තිය).

* එසේම (අ) මේ පනත යටතේ වූ ඉල්ලීමක ඉල්ලුම්කරුගේ හෝ වගඋත්තරකරුගේ අනන්‍යතාවය දැනගත හැකි පරිදි ඔවුන්ගේ නම හෝ වෙනත් කාරණයක් හෝ (ආ) මේ පනත යටතේ යම් අධිකරණයක පවතින නීති කෘත්‍යයකට අදාළව යම් කාරණයක් මුද්‍රණය කරන හෝ ප්‍රකාශයට පත් කරන යම් තැනැත්තකුට (නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ නඩු තීන්දුවකට මෙය අදාළ නොවේ.), අවුරුදු 2 ක් දක්වා වූ කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එම දඬුවම් දෙකෙන්ම දඬුවම් කරනු ලැබිය යුතු ය.

පහත කරුණු ද සැලකීමට ගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *