නඩු තීන්දු කියන කතා 3 – පාපොච්ඡාරණ

මේ නඩු තීන්දුව අපි කථා කරන්න තෝර ගෙන තියෙන්නේ එහි ඇතුළත් වැදගත් නෛතිකමය කරුණු නිසා. ඒ ගැන පාඨක ඔබට වැටහේවි කියවද්දී. පාඨක ඔබ සිහි තබා ගත යුත්තේ මේ ඔබ කියවන්නේ දැනටමත් වාර්තා වී ඇති නඩු තීන්දුවක විස්තර බව. අනෙක් අතට ටිකක් බලන්න මේ සිද්ධිය වගේ සිද්ධිමය කරුණක් නීති විද්‍යාලයේ සාක්ෂි නීතිය පිළිබඳව ප්‍රශ්න පත්‍රයේ තිබුනා මතක ද කියලත්.
මේ නඩුවේ අභියාචක, ඔහුට එරෙහි මහාධිකරණ නඩු විභාගයේ දී මනුෂ්‍ය ඝාතනයට වරදකරු වී මරණදඬුවම නියම වී තිබුනා. ඔහු ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනය කර තිබුනත් එය ප්‍රතික්ෂේප කළ නිසා, විශේෂ අවසරය ලබා ගැනීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කර තිබුනා. නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු විසින් ජූරිය මෙහෙයවද්දී පාපොච්ඡාරණමය ස්වභාවයක් ගන්නා යම් යම් කරුණු නොසැලකීම පිළිබඳව මාර්ගෝපදේශ ලබා නොදීම අභියාචනයේ දී හබ කල මූලික කරුණක්.
සාරාංශයක් ලෙසින් ගත්තොත් නඩුවට අදාළ සිද්ධිමය කරුණු මෙහෙමයි. මරණකරුගේ බිරිඳ සාක්ෂි ලබා දෙනවා ඇය පොලීසියට පැමිණිල්ල කිරීමට මිනිත්තු කීපයකට පෙර අභියාචක විසින් ඇගේ ස්වාමිපුරුෂයාට පිහියකින් ඇන්නා කියලා. මේ පැමිණිල්ල ලැබිලා තවත් මිනිත්තු කීපයක් යද්දී අභියාචකත් පොලීසියට ඇවිල්ලා පිහියක් බාර දුන්න බවට වන පොලිස් සාක්ෂියකුත් පැමිණිල්ලෙන් මෙහෙයවෙනවා. ඒ නිලධාරියා තවදුරටත් සාක්ෂි දෙනවා අභියාචක පිහිය බාර දුන්නට පස්සෙ ඔහුත් සමඟ ම අපරාධ ස්ථානයට ගිහින් ඇවිත් අභියාචකව උපසේවයට බාර දුන්න බවට. කොහොමවුනත් අභියාචක විසින් කිසිඳු ප්‍රකාශයක් කළ බවට සාක්ෂියක් නඩුවෙදි මෙහෙයවෙන්නේ නෑ. මේ පොලිස් නිලධාරියා කියනවා පිහියෙත් මොනවා වත් තිබුනේ නෑ කියලා. අධිකරණ වෛද්‍යනිලධාරියාට පොලිස් නිලධාරියා විසින් මේ පිහිය පෙන්වලා තිබ්බා. ඉතින් අධිකරණ වෛද්‍යනිලධාරියා කියනවා තමුන් දැක්ක පිහිය මේස පිහයක් ය, මරණකරුට වෙලා තිබ්බ පිහිය ඇණුම් තුවාල ඒ පිහියෙන් වෙන්න නොහැකි යි කියලා. මරණකරුගේ බිරිඳත් කියන්නේ මේ පිහිය, තමුන්ගේ ස්වාමිපුරුෂයාට ඇන්න පිහිය වගේ නෙමෙයි කියලා. මෙනිසා පැමිණිල්ලේ නඩු විභාගය පුරාම අභියාචක විසින් පොලීසියට ගෙනත් දීපු පිහිය, මරණය සිදු කළ පිහිය නොවන බවට තමයි කරුණු ඉදිරිපත් වෙලා තිබුනේ. කොහොමවුනත් පොලිස් නිලධාරියා සාක්ෂිදෙනවා මරණකරුගේ බිරිඳ අදාළ පිහිය දැක්කට පස්සෙ ලබා දුන් කරුණු නිසා අභියාචකගේ නිවස දෙතුන් විටක් පරීක්ෂා කළත් සිද්ධියට අදාළ වෙනත් පිහියක් නොලැබුන බව.
අභියාචක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අභියාචනයේ දී අභියාචනාධිකරණයේ තීන්දුවේ කොටසක් පිළිබඳව තරයේ හබ කරනවා. ඒ අර මුලින් කිව්ව පාපොච්ඡාරණයට අදාළ කොටස. එහිදී අභියාචනාධිකරණය විසින් චූදිත විසින් ප්‍රකාශයක් කර තිබුනා කියලා තමයි තීරණය කර තිබුනේ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය මොකක් ද කියන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නඩුවේ සාක්ෂි අනුව චූදිත කිසිඳු ප්‍රකාශයක් කල බවට අනාවරණය නොවුනත්, පාපොච්ඡාරණයක් වන්නේ ප්‍රකාශයක් බවත්, ඒ අනුව අභියාචක විසින් ප්‍රකාශයක් කළ බවට අභියාචනාධිකරණය තීරණය කිරීම පැහැදිලි දෝෂයක් බවත්. මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය පාපොච්ඡාරණය සම්බන්ධයෙන් වන විට එච්.එන්.ජී. ප්‍රනාන්දු අගවිනිසුරුතුමා විසින් රැජින එ. ආනන්දගොඩ නඩුවෙදි පාපොච්ඡාරණයක් ලෙසින් සැලකිය හැකි ප්‍රකාශ පිළිබඳව දැක්වූ මතය පිළිගන්නවා. ඒ අනුව,
  1. චෝදිත වරදට තමුන් වරදකරු බව සෘජුවම පිළිගනිමින් චූදිතයකු විසින් සිදු කරන ප්‍රකාශ,
  2. සෘජුවම චෝදිත වරදට තමුන් වරදකරු බව පිළිගනිමින් චූදිතයකු සිදු කරන ප්‍රකාශයක් නොවන නමුත් ප්‍රකාශයේ ඇතුළත් සංඝටක අනුව චූදිත චෝදිත වරදකළ බවට අනුමිතියක් ඇති කරවන ප්‍රකාශ,
  3. පොලිස් නිලධාරියකු විසින් හෝ පැමිණිල්ලේ නීතීඥවරයා විසින් හරස් ප්‍රශ්නවලදී හෝ ප්‍රකාශයක් මඟින් අධිකරණයට සෘජුවම හෝ අනුමිතියක් ඇති වන ආකාරයට චෝදිත වරද චූදිත සිදුකළ බවට පිළිගෙන ඇති බවට ප්‍රකාශයක් කළ බවට කරන ප්‍රකාශ,
  4. සොරභාණ්ඩයක් ලඟ තබා ගෙන සිටින චූදිතයකුගේ මේ සන්තකය ඔප්පු කිරීම පැමිණිල්ල සතුව ඇති විට, ඒ භාණ්ඩය තිබුනේ චූදිත සන්තකයේ බවට ඉදිරිපත් වන ප්‍රකාශ
පාපොච්ඡාරණ වන නිසා සාක්ෂිමය ලෙසින් චූදිතට එරෙහිව සැලකිය නොහැකි යි.
තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙනවා පාපොච්ඡාරණය කියන්නෙ පිළිගැනීමක් කරන ප්‍රකාශයක් කියලා. හැබැයි මේ ප්‍රකාශය කථිත හෝ ලිඛිත විය යුතු යි. ප්‍රශ්නයකට පිළිතුර ලෙසින් හිස වැනීමක්, ගොළු තැනැත්තු විසින් කරන සංඥාවක් වගේ හැසිරීමකුත් ප්‍රකාශයක් ලෙසින් හඳුනාගත හැකි වුනත් මේ නඩුවේ චූදිත සිදුකළා වැනි ක්‍රියාවක් ඒ තුළට ඇතුළත් නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය සූදානම් වෙන්නේ නෑ ඉහත කී 3 වන අවස්ථාව මෙවැනි ක්‍රියාවක් ආවරණය වන තරම් දුරට පුළුල් කරන්න. මෙහිදී අධිකරණය පෙන්වනවා පාපොච්ඡාරණයක් කියන්නේ පිළිගැනීමක් බව ඇත්ත වුනත් ඒ තුළදී චූදිතයා වරදකළ බව කියැවෙන අවස්ථාවක් නැත්නම් එවැනි අනුමිතියක් ඇතිවිය යුතු බවයි. තවදුරටත් කියන්නේ මේ නඩුවේ චූදිතයාගේ ක්‍රියාව එවැනි ප්‍රකාශයක් හෝ අනුමිතියක් ඉදිරිපත් නොකරන බව. අභියාචකගේ ක්‍රියාව වැනි ක්‍රියාවකට අදාළ සාක්ෂි අභියාචකට අගතිදායී විය හැකි වුනත්, නැත්නම් ඔහු විසින් විමර්ශකයන් නොමඟ යැවීමට කටයුතු කළා වැනි තත්ත්වය එක් පැත්තකින් පැමිණිල්ල ශක්තිමත් කිරීමේ තත්ත්වයක් මතු වුනත්, එය පාපොච්ඡාරණයක් බවට පත් නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙනවා. මෙනිසා ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ඒ සාක්ෂිය අවිධිමත් ලෙසින් සැලකිල්ලට ගෙන නොමැති බවයි.
මේ තත්ත්වයත් එක්ක අභියාචකගේ ජනාධිපති නීතීඥවරයා අවසන් වශයෙන් කියනවා අභියාචකගේ හැසිරීමට අදාළ සාක්ෂි පාපොච්ඡාරණයක් නොවුනත්, ජූරිය විසින් ඒක පාපොච්ඡාරණයක් ලෙසින් සැලකීමට ඉඩ ඇති නිසා එය පාපොච්ඡාරණයක් නොවන බවට ජූරිය මෙහෙයවීමට යුතුකමක් මහාධිකරණ විනිසුරුවරයාට තිබුනා කියලා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ නීතීඥවරයාට එහෙම හිතන්න පුළුවන් වුනාට එවැනි යුතුකමක් අධිකරණයට නොමැති බවත් එනිසා එසේ නොකිරීමෙන් අභියාචකට අගතියක් හෝ තීන්දුවේ නීති දෝෂයක් ඇතිව නොමැති බවයි. ලංකාවේ අපරාධ යුක්ති ක්‍රියාවලිය විසින් චූදිතයකුට සාධාරණත්වය ඉටු කළ යුතු බවට වගකීම අධිකරණයට පවරා තිබීම සත්‍ය වුනත් මේ යුතුකම වින්ධිතයන්ගේ සහ පොදුවේ ගත්විට සමාජයේ පැත්තෙන් අපරාධ යුක්ති ක්‍රියාවලියට බාධාවක් වන ලෙසින් ක්‍රියාත්මක කළ නොහැකි බවයි වැඩිදුරටත් කියන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් අවසානයේ දී මේ පාපොච්ඡාරණ සාක්ෂි පිළිබඳ කරුණ නොතිබුනත් නඩුවේ දී මෙහෙය වී ඇති අනිකුත් සාක්ෂි අනුව ජූරිසභාවට අභියාචක වරදකරු කිරීමට වුවමනා තරම් සාධක ඇති නිසා අභියාචකට ලබා දී ඇති තීන්දුව සහ දඬුවම කෙරෙහි මැදිහත් නොවී අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරනවා.
මේ තීන්දුව (1990) 1 ශ්‍රී ලංකා නී.වා. හි 50 පිටුවෙ රංජිත් ෆොන්සේකා එ. නීතිපති ලෙසින් වාර්තාවෙලා තියෙනවා. වැඩි විස්තර සඳහා කියවා බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *