නඩු තීන්දු කියන කථා 4 – අපසහායකයකුට සමාව දීම

අද අපි කියවන නඩු තීන්දුවට අදාළව මේ සිද්ධිය සිද්ධ වෙන්නෙ 1998 වසරේ. ඒ කාලේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ වුන සිද්ධියක්. නමුත් අපි අද මේ ගැන කථා කරන්නේ ඒ ප්‍රසිද්ධිය නිසා නොවේ. අපි ඒ ගැන කථා කරන්නේ නීති වෘත්තිකයන්ට වැදගත් වුන කරුණු කීපයක් ම ඒ තුළ සාකච්ඡා වෙන නිසා.
මේ නඩුවේ සිද්ධිමය කරුණු සාරාංශයක් විදියට මෙහෙමයි.
රීටා ජෝන් කියන්නේ බොම්බායේ ජීවත් වුන ඉන්දියානු කාන්තාවක්. ඇය ශ්‍රී ලාංකික නාවික ඉංජිනේරුවරයකු වන ජූඩ් මනෝහරන්ව ඉන්දියාවේ දී කසාද බැඳලා 1998.09.20 වැනිදා ලංකාවට එනවා. ඉන්පස්සේ මේ දෙන්නා ජීවත්වෙන්නේ මෝදර කාකදූපතේ තිබුන ජූඩ්ගේ තාත්තාගේ ගෙදර. මේ තාත්තා විශ්‍රාම ගිය පොලිස් අධිකාරීවරයෙක්. මේ කාකදූපත තියෙන්නේ කැළණි ගං මිටියාවත අසබඩ. සෑහෙන දිගට වැවිලා තිබ්බ කඩොලාන වගාවක් ප්‍රදේශය වසාගෙන තිබුනා. මේ නිසා හැම වෙලාවෙම වගේ කළුවරයි. කැළණි ගඟේ ඉඳන් විහිදුන වතුර පාරවල් කඩොලාන කැලෑව පුරාම ගලා යනවා.
එදා 1998.10.11, හවස. රීටා ජෝන් තමන්ගේ සැමියා එක්ක කැළණි ගං මෝය දිහාවට ඇවිදින්න ගියා. විනාඩි 10 ක් 15ක් එතැන ගත කළ ජෝඩුව නැවතත් ගෙදරට එන්න පිටත් වුනා. ඒ එන අතරෙදි මේ අයට හමුවුන කඩල වෙළෙන්දෙක්ගෙන් කඩල ගොට්ටක් ගන්නත් මේ අය අමතක කළේ නෑ. මෝයෙ ඉඳන් මීටර් 200ක් 300ක් ඉස්සරහට එන මේ දෙන්නට මිනිස්සු තුන්දෙනෙක් හමු වෙනවා. මේ තිදෙනා යන්නේ මෝය දිහාවට. එතැන ඉන්න උසම පුද්ගලයා පෝනි ටේලයක් බැඳන් ඉඳපු කෙනෙක්. දැන් ඔහු තමයි නඩුවේ 1 වන චූදිතයා වෙන්නේ. මේ තැනැත්තා එක්ක ඇවිදන් ආපු කෙනා තමයි 2 වන චූදිත. ඊළඟට මේ දෙදෙනාට පසුපසින් ඇවිදන් එන කෙනා තමයි 3 වන චූදිත. මේ තැනැත්තන් තිදෙනා ජෝඩුව පසු කරන් යද්දී, 3 වන චූදිත රීටා ජෝන්ගේ අතින් අල්ලලා අදින්න හදනවා. ඉතින් ජූඩ් තමන්ගේ බිරිඳව තමන්ගේ පැත්තට අදින ගමන්ම 3 වන චූදිතගෙන් අහනවා මොකක්ද කරන්නේ කියා. ජූඩ් ට කුණුහරුපෙන් බැන බැන 3 වන චූදිතත් අනෙත් දෙදෙනාත් ඔවුන්ව පසු කරන් යනවා. හැබැයි එකපාරටම 3 වන චූදිත මේ දෙන්න ඉන්න පැත්තට දුවන් එනවා. ඒ එක්කම අනෙක් දෙන්නත් ඒ පස්සෙන් ම දුවන් එනවා. මේක දකින ජූඩ්, රීටාට කියනවා දුවන්න කියලා. ඇය දුවන්න කලින් 1 වන චූදිත ඇයව අල්ලා ගනිද්දී 3 සහ 2 වන චූදිතයින් ජූඩ්ව අල්ලා ගන්නවා. 1 වන චූදිත රීටාට කියනවා ඔහු සතුව පිස්තෝලයක් තියෙනවා කියලා. මේ අතරේ 3 වන චූදිත ජූඩ්ගේ බඩට පා පහරක් එල්ල කරනවා. තමුන්ව අල්ලන් ඉන්න 2 වන චූදිතගෙන් බේරෙන්න දඟලද්දි ඇඳන් ඉඳපු ෂර්ට් එක පවා ඉරෙනවා විතරක් නෙමෙයි උපැස් යුවලත් බිමට වැටෙනවා. 3 වන චූදිත ආපහු ජූඩ්ට පහර දෙන්න හදද්දී ජූඩ් කරන්නේ ඔහුට පා පහරක් දීලා 2 වන චූදිතගේ යටි බඩ ප්‍රදේශයට අත් පහරක් දීම. ඒ සිද්ධියත් එක්ක ජූඩුත් 2 වන චූදිතත් බිම පෙරෙලෙනවා. මේ වෙලේදී ජූඩ් ට ඇහෙනවා ඔහුගේ බිරිඳ ඔහුගේ නම කියමින් උදව් ඉල්ලලා කෑ ගහනවා. ජූඩ් බිම වැටුන වෙලේ 2 වන චූදිත ඔහුගේ පපුව ලඟ විකනවා. 2 වන චූදිතගේ මූණට පාරක් ගහලා නැගිටින්න හදද්දී 3 වන චූදිත ඔහු වෙත පැමිණෙනවා. මේ වෙලාවෙදිත් ජූඩ්ට ඇහෙනවා බිරිඳ උදව් ඉල්ලලා කෑ ගහනවා. නමුත් ටික වෙලාවකින් ඔහුට ඇගේ හඬ නෑසී යනවා. ඔහු ඇයට කෑ ගැසුවත් ඇගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. තවදුරටත් චූදිතයින් සමඟ සටන් කිරීමේ ප්‍රතිඵලයක් නෑ කියලා තේරෙන ජූඩ් කරන්නේ එතැනින් බේරිලා ගෙදරට දුවලා යන එක.
මෙහෙම දුවන් යන අතරෙදී ජූඩ්ට අසල්වැසියකු වුන බාලක්‍රිෂ්නන්ව හමුවෙනවා. ඔහු බාලක්‍රිෂ්නන්ට සිද්ධිය කියනවා. බාලක්‍රිෂ්නන් කියන්නේ ඉක්මණින් ගෙදරට ගිහින් තාත්තාව දැනුවත් කරලා උදව් ලබා ගන්න කියලා. ඉතින් ගෙදරට ගිහිල්ලා සිද්ධිය කියලා අසල්වැසියන් කීපදෙනෙකුවත් එකතු කරගෙන සිද්ධිය වුන තැනට ජූඩ් ආපසු එනවා. ටිකවෙලාවක් ගතවෙද්දි සිද්ධිය වුන තැනට පොලිස් නිලධාරීන් කීප දෙනෙකුත් හමුදා නිලධාරීන් කීප දෙනකුත් පැමිණෙනවා. මේ සියලු දෙනාම රීටා ජෝන්ව හොයනවා. නමුත් ඔවුන්ට රීටා ජෝන්ව වත් චූදිතයින් තිදෙනාව වත් හමු වන්නේ නෑ. රාත්‍රී 11 පමණ වන තෙක් කරන සෝදිසි මෙහෙයුම තුළදි ඔවුන්ට හමු වන්නේ ජූඩ්ගේ ඉරුණු කමිසයත්, රීටා ජෝන්ගේ සෙරෙප්පු කුට්ටමත් විතරයි.
පසුදිනත් උදේ ඉඳන් මේ සෝදිසි මෙහෙයුම පැවැත්වෙනවා. එදාත් කිසිවක් හමු වන්නේ නෑ. 1998.10.13 වැනිදා හවස 2 ට පමණ ජූඩ්ට කාක දූපතේ ඇති නාරා ගොඩනැගිල්ලේ පිටුපස වතුර ඇති ප්‍රදේශයේ තිබිලා බිරිඳගේ නිරුවත් සිරුර හමුවෙනවා. පොලීසිය ගොඩ ගන්න සිරුරෙ ඒ වෙද්දී තියෙන්නේ ජිප්සි වර්ගයේ කරාබු ජෝඩුව විතරයි. ඇයව පැහැරගෙන යන වෙලාවෙදි ඇය පැළඳ සිටි වෙනත් ආභරණ කිසිවක් සිරුරෙ තිබෙන්නෙ නැහැ. ජූඩ්ට අනුව 1998.10.11 වැනිදා මෝය දිහාවට ඇවිදන් යද්දී ඔහුගේ බිරිඳ විවාහ දවසෙ පැළැන්දූ මංගල තැල්ලත්, මංගල මුදුවත්, තවත් ආභරණ කීපයකුත් පැළැඳ සිටියා. ඒ මංගල තැල්ලෙ අකුරු තුනකුත් අංකයකුත් සටහන්ව තිබූ බව ජූඩ් දැනුම් දෙනවා. ඒ වගේම අනෙක් ආභරණ වල ලක්ෂණත් ජූඩ් සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි. සිද්ධිය වුන වෙලාවේ රීටා ඇඳ සිටි ඇඳුම් පවා ජූඩ් විස්තර කරනවා. දැන් මේ එකක්වත් හමුවුන සිරුරෙ තිබුනේ නැහැ. 1998.10.14 වැනිදා මළසිරුර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීකාර්යාලයට රැගෙන යනවා. ඒ සිරුර රීටා ජෝන්ගේ බව ජූඩ් මනෝහරනුත් ඔහුගේ සොයුරා විසිනුත් හඳුනාගන්නවා. පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට පෙර වූ තුවාල වගේම මරණයෙන් පසුව සත්වයන්ගේ සැපීම් නිසා ඇතිවුන තුවාලත් සිරුරෙ ඇති බව හෙළිවෙනවා. සහකාර අධිකරණ වෛද්‍යවරයා විසින් සිරුර පිළිබඳව කළ පරීක්ෂණය අනුව කියන්නේ එක් පුද්ගලයකුට වඩා වැඩි තැනැත්තන් පිරිසක් විසින් ඇය සමඟ යෝනි මාර්ගයෙන් මෙන්ම ගුද මාර්ගයෙන් ද සංසර්ගය පවත්වා ඇති බවයි. ගැටයකින් බෙල්ල තද කිරීම නිසා ඇය මරණයට පත්ව ඇති බවත් වෛද්‍ය මතය වෙනවා. මරණය සිදු වූ කාලය විදියට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කරන්නේ 1998.10.11 දින සවස 6 ත් රාත්‍රී 11ත් අතර කාලය. ඒ කාලය නිශ්චය කරන්න රීටා විසින් ආහාරයට ගත් කඩල සහ ඒ කඩල දිරවීමට ගිය කාලය හේතුවක් වුනා.
මීළඟට අපි හැරෙමු පොලිස් පරීක්ෂණ දිහාවට.
රීටා ජෝන්ව පැහැර ගෙන යෑම ගැන මුල් තොරතුර 1998.10.11 දින සවස 6.50 ට පමණ දුරකථන ඇමතුමක් මඟින් ලැබෙන්නේ සී.අයි. දෙහිදෙනියට. පොලීසියේ ඉඳලා කි.මී. 1 ½ ක් පමණ දුරින් තිබුන කාක දූපතට පොලිස් කණ්ඩායමක් සමඟ පිටත්වෙන ඔහුට 7.05 ට පමණ ජූඩ් මනෝහරන්ව හමු වෙනවා. පසුව ඔහුත් රීටා ජෝන්ව සොයනවා. ඔහුට තමයි හමු වෙන්නේ මරණකාරියගේ සෙරෙප්පු ජෝඩුව. පොලිස් සුනඛයකුට මේ සෙරෙප්පු ජෝඩුව ඉව කරන්න සැළැස්සුවත් එයින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඉදිරි දිනයේදීත් මේ සෝදිසි මෙහෙයුම පැවතුනා. නමුත් ඵලක් වුනේ නැහැ. මෙහෙම සෝදිසි මෙහෙයුම පවතිද්දි 1998.10.13 වැනිදා ලද තොරතුරක් මත මෝදරදි ඔහු විසින් ලක්ෂ්මන් පෙරේරාව අත්අඩංගුවට ගන්නවා. ඔහුගෙන් ලද තොරතුරු මත කොම්පඤ්ඤවීදියෙ දුම්රිය නිවාස වලදී නඩුවේ 2 වන චූදිතව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වෙනවා. එතැනින් පසුව දළුගමදී ඔහු 3 වන චූදිතවත් අත්අඩංගුවට ගන්නවා. 13 වැනිදා පොලීසිය 1 වන චූදිතව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළත් සාර්ථක වන්නේ නැහැ. අත්අඩංගුවට ගත්ත 2 සහ 3 චූදිතයින්ගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබා ගෙන වෙන වෙනම සිද්ධිය වුන ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඔවුන් විසින් එක්තරා ප්‍රදේශයක් පෙන්වා සිටිනවා. නමුත් ලක්ෂ්මන් පෙරේරා එහෙම විස්තරයක් ලබා දෙන්නේ නැහැ. මේ 2 සහ 3 චූදිතයින් පෙන්වා දුන් ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේ දී තමයි රීටා ජෝන්ගේ සිරුර හමු වන්නේ.
එස්. අයි. උදය කුමාර විසින් නඩුවේ 1 වන චූදිතව අත්අඩංගුවට ගන්නවා. ඒ හසලක දී. මෙහෙම අත්අඩංගුවට ගන්න 1 වන චූදිතව මෝදර පොලීසියට ඉදිරිපත් කරන්නේ 1998.10.14 වැනිදා උදේ. ඔහුගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් පස්සේ ආවරණය කළ පොලිස් රථයකින් 1 වන චූදිතවත් සිද්ධිය වූ ස්ථානයට රැගෙන යනවා. එස්.අයි. උදය කුමාර විසින් මළසිරුර තිබූ ස්ථානයට යාර 10, 15ක පමණ දුරින් සොයා ගන්න ඇඳුම් ජූඩ් විසින් නඩු විභාගයේ දී තමුන්ගේ බිරිඳ අවසන් වරට ඇඳ සිටි ඇඳුම් විදියට අඳුරගන්නවා. 1 වන චූදිතගේ බිරිඳ විසින් සී.අයි. දෙහිදෙනියට 1998.10.15 වැනිදා බෑන්ගල්ස් ජෝඩුවකුත් බාර දෙනවා.
මෝදර පොලීසියේ ස්ථානාධිපති අයි.පී. චන්ද්‍රතිලක 2 වන චූදිතගේ ප්‍රකාශ මත ඔහුගේ නිවසේ සඟවා තිබියදී රීටා ජෝන් පැළඳ සිටි මාලය සහ තාලිය සොයා ගන්නවා.
මීට අමතරව හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ දී ජූඩ් මනෝහරන් විසින් චූදිතයින්ව හඳුනාගන්නවා.
මේ සිද්ධියේ තිබුන ස්වභාවය අනුව නඩු විභාගය පැවැත්වුනේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු සභාවක් ඉදිරියේ සහ ජූරි සභාවක් නොමැතිව. අධිචෝදනා පත්‍රයේ දී චෝදනා කීපයක් ම තිබුනා. ඒ අතර රීටා ජෝන්ව රංචු ගැසී දූෂණය කිරීම, ඇයගේ ඝාතනය, ඇය පැළඳ සිටි භාණ්ඩ කොල්ලකෑම යන චෝදනා ඉදිරිපත් වුනා. පැමිණිල්ල වෙනුවෙන් ජූඩ් මනෝහරන්, සී.අයි. දෙහිදෙනිය, එස්.එයි. උදය කුමාර, අයි.පී. චන්ද්‍රතිලක, අධිකරණ වෛද්‍යනිලධාරීවරුන් වැනි සාක්ෂිකරුවන් කීපදෙනකුම සාක්ෂි ලබා දුන්නා. පැමිණිල්ලේ නඩුව අවසානයේ දී 2 සහ 3 චූදිතයින් වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 119(4) වන වගන්තිය යටතේ අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වුනා අධිචෝදනා පත්‍රයේ නම සඳහන් සහ පැමිණිල්ල විසින් සාක්ෂියට නොකැඳවූ ලක්ෂ්මන් පෙරේරා සාක්ෂියට කැඳවීමට. ඔහුගේ ප්‍රකාශ පරීක්ෂා කළ අධිකරණය එම සාක්ෂිකරු කැඳවීමට චූදිතයන්ට අගතියක් වේ යැයි තීරණය කළ කැඳවීම ප්‍රතික්ෂේප කළත් චූදිතයින්ට දැනුම් දී තිබුනා ඔවුන්ට අවශ්‍ය නම් විත්තියේ සාක්ෂිකරුවකු ලෙසින් කැඳවන ලෙසට. නමුත් චූදිතයින් ලක්ෂ්මන් පෙරේරාව සාක්ෂියට කැඳවුයේ නැහැ. චූදිතයින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශ ලබා දෙමින් කියා සිටියේ ඔවුන්ව අසත්‍ය ලෙස මේ නඩුවට සම්බන්ධ කළ බවට. කෙසේවෙතත් නඩු විභාගය අවසානයේ දී මහාධිකරණය විසින් චූදිතයින්ට මරණ දඬුවමත්, තවත් සිරදඬුවමුත් ඒ ඒ චෝදනාවලට අදාළව නියම කළා. ඔවුන් විසින් ඒ දඬුවමට එරෙහිව අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා නොයකුත් හේතුන් මත. ඒ හේතුන් ගැන තමයි අපි මීළඟට කථා කරන්නේ.
මේ අභියාචනයට අදාළ තීන්දුව ප්‍රකාශ කලේ අනෙක් විනිසුරුතුමන්ලා සිව්දෙනාගේ ද එකඟතාවය මත ඉස්මයිල් විනිසුරුතුමා.
අභියාචක චූදිතයින් (ඉදිරියෙදි අභියාචකයින් කියලා හැඳින්වෙන්නෙත් මේ අයම තමයි.) වෙනුවෙන් නීතීඥමහතා ඉදිරිපත් කළ එක් තර්කයක් තමයි අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 256(2) වන වගන්තිය නඩුවිභාගයේ දී මහාධිකරණය නිසිලෙසින් භාවිතා නොකල බව. එහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් වුනා මේ වගන්තිය අනුව කටයුතු කිරීම යුක්තිය ඉටුකිරීමෙහිලා අත්‍යවශ්‍ය බවත් වගන්තිය යෙදෙන්නේ සමාව ගත්ත සැකකරුවකුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නොවෙන බවටත්. ඔබට මා ඉහතින් සඳහන් කළ ලක්ෂ්මන් පෙරේරාව සාක්ෂි ලෙස කැඳවීමට චූදිතයන් වෙනුවෙන් කළ ඉල්ලීම මතක ඇති. ඒ සම්බන්ධව තමයි මේ කියන්නේ. ලක්ෂ්මන් පෙරේරා මේ නඩුවේ දී කටයුතු කළේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 256(1) වන වගන්තිය යටතේ නීතිපතිවරයාගෙන් සමාව ගත් රජයේ සාක්ෂිකරුවකු ලෙස. ඉස්මයිල් විනිසුරුතුමා මේ සඳහා පිළිතුරු ලබා දුන්නේ 256 වන වගන්තියත් සඳහන් කරමින්මයි. ඒ අනුව එතුමා ප්‍රකාශ කරනවා මේ සමාව දීමේ අරමුණ වෙන්නේ වරදක් සඳහා සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වූ අපසහායකුගෙන් සාක්ෂි ලබා ගැනීම කියලා. මේ සඳහා සොහෝනිගේ අපරාධ නඩු විධාන සංග්‍රහය පිළිබඳ කෘතියේ කොටසක් එතුමා උපුටා දක්වා තියෙනවා. වැඩිදුරටත් විනිසුරුතුමා සඳහන් කරන්නේ නීතිපතිට මේ ආකාරයට සමාව ලබා දිය හැක්කේ විමර්ශනය පැවැත්වෙන අපරාධය සම්බන්ධයෙන් සෘජුව හෝ වක්‍රාකාරයෙන් කුමක් හෝ සම්බන්ධතාවයක් ඇති යැයි සැලකෙන තැනැත්තුට බවත් ඒ සාක්ෂි නොමැතිවීම නිසා පලා යා හැකි දරුණු අපරාධවල අනෙක් වරදකරුවන් පලා යෑමෙන් වැළැක්වීමේ අරමුණින් බවත්. එවැනි තත්ත්වයක දී ලක්ෂ්මන් පෙරේරා පිළිබඳව ඇති කරුණු සැලකිල්ලට ගන්නා අධිකරණය සඳහන් කරන්නේ ඔහු විමර්ශනයට යටත් අපරාධයට සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධතාවයක් ඇති තැනැත්තකු ලෙසින් සැලකිය නොහැකි බවයි. ඒ කෙසේවෙතත් වැඩිදුරටත් අධිකරණය කියනවා අපරාධයක් සමඟ චූදිතයකු සම්බන්ධ කළ හැකි සාක්ෂි නොමැති විට දී සමාව ලබා දීම සිදු කළ නොහැකි බව. එවැනි අවස්ථාවකදී ලබා දුන් සමාව නීතිවිරෝධී බවයි අධිකරණයේ මතය. එනිසා එවැනි අවස්ථාවක දී සමාවක් ලද සැකකරුවකුගේ සාක්ෂි ආවේශ කල නොහැකිවා සේම ඔහු අදාළ පොරොන්දුව කඩ කල විට නීත්‍යනුකූලව ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බවත් අධිකරණය දක්වනවා. ලක්ෂ්මන් පෙරේරා පැහැර ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවකු වුවත් චූදිතයන් සම්බන්ධයෙන් වන විට අපසහායකයකු නොවන බවටයි අධිකරණයේ මතය. මෙනිසා 256 වන වගන්තියට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්න මෙහෙම නිගමනයකට පැමිණෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 256 වන වගන්තියේ ඇති පැහැදිලි වචනත් පෙර සඳහන් කළ මූලාශ්‍රත් අනුව ඉතා පැහැදිලිව පෙනී යන්නේ සමාව ලබා දිය හැක්කේ වරදකට සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධතාවයක් දක්වනු ලැබිය හැකියැයි පෙනෙන තැනැත්තෙකුට ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අපරාධයකට සම්බන්ධ වූවකු ලෙසින් සැලකෙන අපසහායකයකුට ය. සමාව ලබා දිය හැක්කේ චූදිත වෙනත් කිසිඳු ක්‍රමයකින් අපරාධයට සම්බන්ධ කළ නොහැකි අවස්ථාවලදී වේ.
මෙවැනි තත්ත්වයන් මත ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා ලක්ෂ්මන් පෙරේරාට නීතිපතිවරයා විසින් සමාව ලබා දීම නීතිවිරෝධී බව. එසේම ආශ්‍රිත කරුණු අනුව වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්නේ ලක්ෂ්මන් පෙරේරා සාක්ෂියට නොකැඳවීම නිසා යුක්තිය අපගමනය වීමක් සිදූ නොවන  බවයි.
ඉහත කරුණට අමතරව අභියාචකයන් වෙනුවෙන් ඉදිරිපත් කළ තවත් තර්කයක් තමයි 2 සහ 3 වන චූදිතයින්ගෙන් ලබා ගත් ප්‍රකාශ මත පදනම්ව මළසිරුර සොයා ගැනීමේ කරුණට මහාධිකරණ විනිසුරුවරුන් හරයාත්මක වටිනාමක් ලබා දීමෙන් නීතිය වරදවා කටයුතු කර ඇති බව. වැඩිදුරටත් එහිදී කියා සිටින්නට වූයේ එකී ප්‍රකාශ සාක්ෂි ආඥාපනතේ 27 වන වගන්තිය යටතේ ආවේශ්‍ය කළ නොහැකි බවත් එම කරුණු මඟින් අනාවරණය වීමක් සිදු නොවන බවත්. කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ 2 සහ 3 වන චූදිතයින්ගෙන් ප්‍රකාශ ලබා දීමෙන් පසුව ඔවුන් විසින් පෙන්වා දුන් ප්‍රදේශය තුළ පරීක්ෂා කිරීමේ දී දේහය හමුවීමත් සමඟ කරුණු සැලකිල්ලට ගැනීමේ දී එකී තත්ත්වය 27 වන වගන්තිය තුළට අන්තර්ගත වන බවයි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් චුයින් පොන්ග් ෂෙයික් එ. නීතිපති නඩු තීන්දුව සැලකිල්ලට ගන්නවා.
මීළඟට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සැලකිල්ලට ගෙන තිබුනේ පොදු චේතනාවෙන් යුක්තව චූදිතයින් විසින් මිනීමැරීමේ වරද කරන අවස්ථාවේ දී කටයුතු කර නොතිබුන බවට අභියාචකයන්ගේ නීතීඥවරයා විසින් මතු කළ තර්කයටයි. ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමේ දී රජය විසින් මෙන්ම අභියාචකයන් වෙනුවෙන් ද මතු කළ තර්ක අධිකරණය සැලකිල්ලට ගත්තා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ නඩු විභාගයේ දී පැහැරගැනීම සහ චූදිතයන්ගේ අනන්‍යතාවය පිළිබඳව හබ නොවන සාක්ෂි ඉදිරිපත්ව ඇති බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමට චූදිතයන් විසින් කටයුතු නොකිරීම නඩුව විභාග කරන විනිසුරුවරුන් විසින් මිනීමැරීම සම්බන්ධයෙන් පොදු චේතනාවක පැවැත්ම පිළිබඳව නිගමනයකට ඒමට සාධාරණ ලෙසින් යෙදීමට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙනවා. වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ මේ නඩුවෙදි මරණාකාරියව පැහැරගෙන යාමෙන් පසුව සිදුවීම් ගැන සාක්ෂියක් ලබා දීම හෝ ලැබෙන්නට සැලැස්වීම අවශ්‍ය බවත්, ඔවුන් ඊට අපොහොසත්විම ඔවුන්ට අගතිදායී අනුමිතියක් මතු කළ බවට. මේ සම්බන්ධව වන විවාදයේ දී අභියාචකයන් වෙනුවෙන් එලන්බරෝ ඩික්ටුමය වැරදි කීපයක් ඇති නඩුවකදී යෙදීම පිළිබඳවත් කරුණු දක්වනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වන්නේ එලන්බරෝ සාමිවරයාගේ අදාළ ප්‍රකාශය බෙදමින් අදාළ කිරීමක් ගැන ඉදිරිපත්කරන තර්කයේ කිසිඳු හරයාත්මක බවක් නොමැති බව. මෙනිසා මේ කරුණත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරනවා.
ඉතින් මෙවැනි කාරණා සාකච්ඡා වූ මේ නඩු තීන්දුව අජිත් ප්‍රනාන්දු හෙවත් කොණ්ඩ අජිත් සහ තවත් අය එදිරිව නීතිපති විදියට (2004) 1 ශ්‍රී ලංකා නී.වා. 288 පිටුවෙ ඉඳලා කියවන්න පුළුවන්. ඉහතින් දක්වලා තියෙන්නේ අදාළ සම්පූර්ණ නඩු තීන්දුවෙ පරිවර්තනයක් නොවේ. අධ්‍යයනයේ පහසුව පිණිස තෝරාගත් ප්‍රමාණයක් පමණයි. එනිසා සම්පූර්ණ නඩු තීන්දුව ම ඔබ විසින් කියවා ඉන් දැනුමින් සන්නද්ධ වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *