අපේක්ෂිත ඇප

අපේක්ෂිත ඇප.

අපේක්ෂිත ඇප පිළිබඳව මෙයට පෙර අවස්ථාවලදී ද අප සාකච්ඡා කර ඇත්තෙමු. කෙසේවෙතත් නැවතත් ඒ පිළිබඳව කෙටියෙන් මතකය අළුත් කිරීමක් කරන්නේ නම් කියා සිතීම හේතුවෙන් මෙකී සටහන තබන්නෙමි.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර චන්ද්‍රචූද් විනිසුරුතුමා අපේක්ෂිත ඇප සම්බන්ධයෙන් Gurbaksh Singh Sibbia Etc v State Of Punjab – 1980 AIR 1632 නඩුවේ දී මෙසේ දක්වා තිබේ.
It has to be borne in mind that anticipatory  bail is  sought  when  there     is  a    mere  apprehension of    arrest on the accusation that the applicant has committed  a non-bailable  offence. A person who has yet to lose his freedom  by being arrested asks for freedom in the event  of arrest.  That is   the stage  at  which  it  is imperative to protect his freedom, in so far as one may, and to give full play to the presumption that he is innocent.
ශ්‍රී ලංකාවේ නීතියේ දී 1997 දක්වා අපේක්ෂිත ඇප පිළිබඳව විධානයක් නොතිබුණි. එය ඉන්දියානු නීතිය අනුව යමින් 1997 අංක 30 දරන ඇප පනතින් අප නීති පද්ධතියට හඳුන්වා දී තිබේ.
අපරාධ නීති පද්ධතියේ දී ඇපය යනු සරලව ගත් විට අධිකරණය ඉදිරියේ පුද්ගලයකුගේ පෙනී සිටීම සහතික කරන්නා වූ නෛතික තත්ත්වයකි. අධිකරණයේ පෙනී සිටින හෝ අධිකරණයට රැගෙන එන යම් තැනැත්තෙකු, පසු අවස්ථාවකදී අධිකරණයේ යම් තත්ත්වයන්ට හැර නැවත පෙනී සිටීම ඇප මඟින් සහතික කෙරේ. ඇප සමඟ ද බැඳී ඇත්තේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයයි. නිසි අධිකරණ ක්‍රියාදාමයකින් හැර පුද්ගලයකුගේ පුද්ගලික නිදහස අහිමි කළ නොහැකි අතර අධිකරණයකින් වැරදිකරුවකු කරන තෙක් සෑම තැනැත්තකුම නිර්දෝශී බව නීතියෙන් ම පූර්ව නිගමනය කරනු ලැබේ. නිර්දෝෂී බවට පූර්ව නිගමනය කරන තැනැත්තකුගේ පුද්ගලික නිදහසේ අයිතිය අහිමි කිරීම බැලු බැල්මට ම සාධාරණ නැත. නමුත් යම් අවස්ථාවලදී එසේ කිරීමට ද සිදු වේ. එම තත්ත්වයන් ඇප නීතියේදී සැලකිල්ලට ගනී. ඇප පනතේ 14 වගන්තිය බැලුවෝතින් මේ බව පැහැදිලිව තේරුම් ගත හැක.
අපේක්ෂිත ඇප සංකල්පය ද මේ නිර්දෝෂීත්වයේ පූර්ව නිගමනය සහ පුද්ගලික නිදහසේ අයිතිය සමඟ ම බැඳී පවතී. යම් අවස්ථාවකදී ඔබේ අසල්වැසියා ඔබ සමඟ ඇති තරහට නැත්නම් ඔබේ විරුද්ධවාදියා ඔබෙන් පලිගැනීමට ඔබට එරෙහිව ඔබ නොකළ වරදක් සම්බන්ධයෙන් ඔබව සිරගත කරවීම සඳහා පැමිණිල්ලක් සිදු කිරීමට ඉඩ ඇත. එවැනි විටක දී ඔබට ඔබේ පුද්ගලික නිදහස අහිමි වේ යැයි සාධාරණ සැකයක් ඇති වෙයි නම් අපේක්ෂිත ඇප ප්‍රතිපාදනයේ පිහිට පැතීමට හැකියාව තිබේ. ටිරෝන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයා ඇප පනත පාර්ලිමේන්තුවේ විවාද කරනා අවස්ථාවේ දී මේ පිළිබඳව ප්‍රකාශ කළ අදහස් Gunasekara and Others v. Ravi Karunanayake – (2005) 2 Sri LR 18 නඩුවේ දී ස්කන්ධරාජා විනිසුරුතුමා විසින් උපුටා දක්වා ඇත්තේ පහත ලෙසිනි.
“I very much welcome your clause on anticipatory bail. I think India is the only place where anticipatory bail has been in force since 1970. Sir, I would like to quote from Mr. P. V. Ramakrishna’s “Law of Bails”. There they give the reason for this anticipatory bail. This anticipatory bail, Sir, was made use of by even Mr. Narasinha Rao, the former Prime Minister, when the guns were turned on him. He did not want to be embarrassed by being suddenly picked up by the police. So, he went and got this anticipatory bail. That is precisely the reason why the anticipatory bail has been allowed, why there is provision. May I quote, Sir?
“the provision for anticipatory bail has been incorporated mainly in order to relieve a person from being disgraced by trumped up charges”
These trumped up charges are very common features in our part of the world, Sir. It is very salutary that this anticipatory bail has been brought in the case of non-bailable offences. One word of caution I want to address to the Hon. Minister. He Spoke about bailable and non-bailable offences and the machinations of the police and the local powers.
A bailable offence can easily be turned into a non-bailable offence by sleight of hand. I have a very good example for you.”
අපේක්ෂිත ඇප සම්බන්ධයෙන් අදාළ ලංකාවේ ව්‍යවස්ථාපිත නීතිය
ඇප පනතේ 21 වගන්තියේ මේ පිළිබඳව දැක් වේ. ඒ අනුව ඇප දිය නොහැකි වරදක් සිදු කර ඇති බවට හෝ තමා එවැනි වරදක් සිදු කිරීමෙහි ලා සම්බන්ධ වී ඇති බවට හෝ සැක කිරීමේ හේතුව මත සිරභාරයට ගනු ලැබිය හැකි බවට විශ්වාස කිරීමට යම් තැනැත්තකුට හේතු ඇති අවස්ථාවක දී එම වරද සිදු කරනු ලැබූ බවට කියනු ලබන ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානය භාර නිලධරයා වෙත දැන්වීමක් කර, තමා එම වරද සිදු කර ඇති බවට හෝ සිදු කිරීමෙහි ලා සම්බන්ධ වී ඇති බවට හෝ වූ චෝදනාව මත තමා සිරභාරයට ගනු ලැබුවහොත්, ඇප පිට මුදා හරින ලෙස විධාන කරන ලෙස ඉල්ලමින් එම වරද සිදු කරනු ලැබූ බවට කියනු ලබන ප්‍රදේශය පිළිබඳ ප්‍රාදේශීය අධිකරණ බලය ඇති මහේස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි ය.
මේ වගන්තිය අනුව ම අපේක්ෂිත ඇප යනු තැනැත්තකුගේ හිමිකමක් නොවන බව නැත්නම් අයිතිවාසිකමක් නොවන බව පැහැදිලි වේ.
“In light of these, it is understood that anticipatory bail has to be granted in exceptional cases where it appears that a person might be falsely implicated, or there are reasonable grounds to believe that a person accused of an offence is not likely to abscond, or otherwise misuse his liberty while on bail. Therefore, it is trite law that a suspect is not entitled to demand an anticipatory bail as a matter of rule, stating that his arrest would not make any difference.” [CA(PHC) APN 130/2018 decided on 09.08.2019]
ඇප පනතේ 4 වන වගන්තියට අනුව ඇප දිය හැකි වරදක් සම්බන්ධයෙන් වන තැනැත්තකුට ඇප මත මුදා හරිනු ලැබීමට හිමිකම ඇත. ඇප දිය නොහැකි වරදක් සම්බන්ධයෙන් වන විට අධිකරණයට ඇත්තේ අභිමතානුසාරී බලයකි. ඒ සංකල්ප දෙකටම වඩා මෙය වෙනස් ය.
තවද, මේ වන විට ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා යම් තැනැත්තන් විසින් අභියාචනාධිකරණයේ නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කරන අවස්ථා දක්නට ලැබේ. එයින් ද මෙය වෙනස් වේ.
  • වගන්තියට අනුව අපේක්ෂිත ඇප සම්බන්ධයෙන් කරුණු කීපයක් හඳුනා ගත හැක.
  1. අපේක්ෂිත ඇප සම්බන්ධයෙන් අධිකරණ බලය ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයට වේ. නමුත් ඒ ඉල්ලුම්කරු පදිංචි ස්ථානයේ හෝ අත්අඩංගුවට ගන්නා බව කියන පොලීසිය පිහිටි ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණය නොවේ. අධිකරණ බලය ඇත්තේ ‘වරද සිදු කරන ලද බව කියන‘ ප්‍රදේශයේ අධිකරණ බලය ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ය.
  2. අපේක්ෂිත ඇප ලබා ගැනීම සඳහා අනිවාර්ය කරුණු දෙකක් සංතෘප්ත විය යුතු වේ. එනම්,
  • ඇප ඉල්ලන වරද ඇප දිය නොහැකි වරදක් විය යුතු වේ.
  • එවැනි වරදක් සඳහා පොලීසිය විසින් ඉල්ලුම්කරුව අත්අඩංගුවට ගැනීමේ සූදානම.
  1. 21 වගන්තියට අනුව අපේක්ෂිත ඇප ඉල්ලීමක් කිරීම සඳහා ඉල්ලුම්කරුට එරෙහිව මුල් පැමිණිල්ලක් වාර්තා වීම අවශ්‍ය කරුණක් නොවේ.
  1. අවශ්‍ය වන්නේ ඉල්ලුම්කරුව ඇප දිය නොහැකි වරදක් සඳහා පොලීසිය විසින් සිරභාරයට ගනු ලැබිය හැකි බවට ඇති විශ්වාසය ය.
මේ විශ්වාසය ඇත්තේ ඉල්ලුම්කරුට ය. අධිකරණය විසින් එකී විශ්වාසය සාධාරණ හේතු මත ඇති වූවක් ද සහ රඳා පවතින්නේ ද යන්න විමසා බලනු ඇත. මෙවැනි ම පාඨයක් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද යෙදී ඇති ආකාරය දැන් ඔබට සිහිපත් වනවා නොවේ ද? සැකයක් මත ඇති වන විශ්වාසය මෙහිදී සැලකිල්ලට නොගනී. මෙනිසා අපේක්ෂිත ඇප ඉල්ලීමක් කරන විට තමුන්ව ඇප දිය නොහැකි වරදක් සඳහා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන විශ්වාසය ඇති වුනේ කුමන හේතු මත ද යන්න පැහැදිලිව සහ පිළිගත හැකි ලෙසින් පෙන්වීමට ඉල්ලුම්කරුට සිදු වේ.
  1. ඇප ඉල්ලීම කිරීම සඳහා ඉල්ලුම්කරු පුද්ගලිකව අධිකරණයේ පෙනී සිටීම අත්‍යවශ්‍ය නොවේ.
  1. අනාගතයේ සිදු කිරීමට බලාපොරොත්තු වන වැරදිවලින් ගැලවීමට මෙය අදාළ නොවේ.
අපේක්ෂිත ඇප ඉල්ලීම කරනා කාර්ය පටිපාටිය සහ අනුෂාංගික කරුණු.
පෙර දී දැක් වූ ආකාරයට අපේක්ෂිත ඇප ඉල්ලීම සිදු කළ යුතු වන්නේ වරද සිදු කරනු ලැබූ ප්‍රදේශයේ අධිකරණ බල සීමාවේ මහේස්ත්‍රාත් අධිකරණයට ය. ඇප පනතේ 21 වගන්තියේ දැක්වෙන ආකාරයට එම ඉල්ලීම සමඟ ඉල්ලුම්කරු විසින් සාදන ලද දිව්රුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතු වේ.
ඉල්ලුම් පත්‍රයේ වගඋත්තරකරු වන්නේ ඉල්ලුම්කරුව අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බවට කියනු ලබන පොලීසියේ ස්ථානාධිපතිවරයා වේ.
ඉල්ලුම්පත්‍රයේ දී ඉල්ලුම්කරුව අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමන වරදක් සඳහා ද (එය අනිවාර්යයෙන් ම ඇප දිය නොහැකි වරදක් විය යුතු ය.), ඒ සම්බන්ධයෙන් තමුන්ට ඇති සැකය ඇති වීමට හේතු පැහැදිලිව දැක්විය යුතු වේ.
පනතේ 21 වගන්තියේ දැක්වෙන කරුණු අනුව ඇප දිය නොහැකි වරදක් සඳහා වන අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් මහේස්ත්‍රාත් අධිකරණයකට දිව්රුම් පෙත්සමක් ද සහිතව ගොනු කර ඇති විට එය සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඇති බවක් පෙනෙන්නේ නැත.
මේ ආකාරයේ ඇප ඉල්ලුම් පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් වූ විට ඒ ඉල්ලීම ලැබුන වහාම මහේස්ත්‍රාත්වරයා විසින් වහාම ඒ ඉල්ලීම විභාග කිරීමට දිනයක් නියම කළ යුතු වේ. ඒ නියම කරන දිනය, කිසිඳු ලෙසකින් ඉල්ලීම කරනු ලැබූ දිනයේ දින සිට දින 7 ක් නොඉක්මවන දිනයක් විය යුතු ය (21(3) වගන්තිය).
අධිකරණය විසින් එසේ නියම කරන දිනය පිළිබඳව ඉල්ලුම්කරුට ද පොලිස් ස්ථානාධිපතිට ද දන්වා යවනු ලැබිය යුතු වේ.
මේ ආකාරයට නියම කරනු ලැබූ දිනයේ දී ඉල්ලීම විභාගයට ගෙන (මේ විභාගය 21 වගන්තියට අනුව සාමාන්‍ය නඩු විභාගයක් හෝ පරීක්ෂණයක් ලෙසින් පවත්වන්නක් නොවේ) ඉල්ලුම්කරුගෙන් හෝ ඉල්ලුම්කරුගේ නීතීඥවරයාගෙන් ද පොලිස් ස්ථානාධිපතිගෙන් ද කරුණු විමසා අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් වහාම ආඥාවක් කළ යුතු වේ. ඒ කරන ආඥාව සම්බන්ධයෙන් හේතු දැක්විය යුතු ය.
කෙසේවෙතත් මෙවැනි ඉල්ලීමක් විභාග වෙමින් පැවතීමේ හේතුවෙන් එම ඉල්ලීමේ සඳහන් යම් වරදක් සම්බන්ධයෙන් ඉල්ලුම්කරුගෙන් ප්‍රශ්න කිරීමට යම් පොලිස් නිලධාරියකුට ඇති අයිතිය හෝ එවැනි වරදකට ඉල්ලුම්කරු සිරභාරයට ගැනීමට වරෙන්තුවක් ලබා ගැනීමට ඇති අයිතියට හෝ එවැනි ඉල්ලීමක් මත (රඳවා තබා ගැනීමේ ආඥාවක් වුවද) ආඥාවක් කිරීමට අධිකරණයට ඇති බලයට මෙයින් සීමාවක් පැනවෙන්නේ නැත (25 වගන්තිය).
අපේක්ෂිත ඇප කුමන වැරදි සඳහා ඉල්ලිය හැකි ද?
පෙර දී සඳහන් කළ Gunasekara and Others v. Ravi Karunanayake නඩුවේ දී ඉල්ලුම්කරුට අපේක්ෂිත ඇප ලබා දී තිබුනේ පොදු දේපල පනතේ වැරදි සඳහා චෝදනා නැගී තිබුන අවස්ථාවකදී ය. අපේක්ෂිත ඇප ඉල්ලීම සිදු කරනු ලැබිය හැක්කේ ඇප දිය නොහැකි වැරදි සම්බන්ධයෙනි. උදාහරණයකට විදුලි බල පනතේ ඇප දිය නොහැකි වැරදි දක්වා තිබේ. පෙර කී Gunasekara and Others v. Ravi Karunanayake නඩු තීන්දුව අනුව ඇප පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව ඇප පනත අදාළ වන වරදක් සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප ඉල්ලීමේ බාධාවක් නො පවතින බව පෙනී යයි.
ආඥාව
අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් විභාග කරන මහේස්ත්‍රාත්වරයාට කළ හැකි ආඥා තුනකි.
අ.         එක්කෝ එය පිළිගත හැක.
ආ.       එක්කෝ එය ප්‍රතික්ෂේප කළ හැක.
ඇ.        එක්කෝ ඉදිරි දිනයක් ලබා දිය හැක.
මේ ආ, ඇ අවස්ථාවලදී අවශ්‍ය නම් ඉල්ලුම්කරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයාට හැකියාව තිබේ.
අපේක්ෂිත ඇප ලබා දීමේ ආඥාවක ඇතුළත් විය හැකි කරුණු.
අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිගනු ලැබුව හොත් එහිදී මහේස්ත්‍රාත්වරයා ආඥා කරන්නේ සිරභාරයට ගනු ලැබුවහොත් ඉල්ලුම්කරුව ඇප පිට මුදා හරිනු ලැබිය යුතු බවට ය. ඇප කොන්දේසි එහිදී දක්වනු ලැබිය යුතු ය. කෙසේවෙතත් 22 වගන්තියට අනුව එවැනි ආඥාවක අනිවාර්යයෙන්ම,
අ.         ආඥාව කරනු ලබන ඇප දිය නොහැකි වැරදි කවරේ ද යන්න පැහැදිලිව ලියා තිබිය යුතු ය.
ආ.       සිරභාරයට ගනු ලැබුවහොත් ඒ අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලැබිය යුතු ඇප පිළිබඳව දක්වා තිබිය යුතු ය.
යම් හෙයකින් ඇප කොන්දේසියක් ලෙසින් ඉල්ලුම්කරුගේ විදෙස් ගමන් තහනම් කරනු ලැබුව හොත් ඒ පිළිබඳව වහාම ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දීමට මහේස්ත්‍රාත්වරයා විසින් කටයුතු කළ යුතු වේ.
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම
ඇප පනතේ 21 වගන්තියේ දී අපේක්ෂිත ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ හැකි අවස්ථා දක්වා නැත. කෙසේවෙතත් පවතින තත්ත්වයන් අනුව,
  • නඩු විභාගයට හෝ විමර්ශන කටයුතුවලින් මග හැර සිටීමට ඉල්ලුම්කරුට හැකියාව ඇති බව පෙනෙන විටක,
  • ඉල්ලුම්කරු විසින් චෝදනා කර ඇති වරද, බැලු බැල්මට ඔහුට එරෙහිව පවතින බවට කරුණු ඉදිරිපත් වීම,
  • ඉල්ලුම්කරු අපේක්ෂිත ඇප ඉල්ලීම කරන අවස්ථාව වන විටත් පූර්ව වැරදි ඇති තැනැත්තෙක් වීම,
  • ඉල්ලුම්කරුට එරෙහිව පවතින විමර්ශනයේ දී ඔහුට එරෙහි සාක්ෂි සම්බන්ධයෙන් මැදිහත්වීමට හැකියාවක් ඇති බවට පෙනී යාම,
  • පොලීසියේ කරුණු දැක්වීම මත, ඉල්ලුම්කරු රඳවා තැබීම අවශ්‍ය වන බවට පෙනී යාම,
  • ඉදිරිපත් කරන කරුණු අනුව ඉල්ලුම්කරු විසින් තමුන්ව අත්අඩංගුවට ගැනීම පිළිබඳව විශ්වාස කළත් අධිකරණයට එවැනි තත්ත්වයක් නොපෙනීම,
වැනි අවස්ථාවලදී අපේක්ෂිත ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට හැකියාව ඇති බව පෙනී යයි.
අපේක්ෂිත ඇපයක් ලද පසු ඉල්ලුම්කරුවකු ලබන හිමිකම.
පෙර දී අපේක්ෂිත ඇපය යම් තැනැත්තකු ලබන හිමිකමක් නොවන බව සඳහන් කරනු ලැබ තිබේ. ඇප පනතේ 23 වගන්තියේ දී එවැනි අපේක්ෂිත ඇපයක් ලද තැනැත්තකු ලබන හිමිකමක් පිළිබඳව දක්වා තිබේ. ඒ අනුව ආඥාවේ දක්වා ඇති වරදක් සම්බන්ධයෙන් හෝ එවැනි වරදක් සංයුක්ත වන ආකාරයේ වෙනත් වරදක් සඳහා හෝ ඉල්ලුම්කරුව අත්අඩංගුවට ගනු ලැබුවහොත් ආඥාවේ ආකාරයට කොන්දේසි සපුරමින් ඉල්ලුම්කරු විසින් ඇප ඉදිරිපත් කළ විට වහාම ඉල්ලුම්කරුව මුදා හරිනු ලැබීමේ හිමිකම ඇත්තේ ය.
අපේක්ෂිත ඇප ලබා දීමේ දී සැලකිල්ලට ගනු ලැබෙන කොන්දේසි
අපේක්ෂිත ඇපයක් යටතේ මුදා හරින තැනැත්තකුට අදාළ වන කොන්දේසි පනතේ 24 වගන්තියේ දක්වා තිබේ. ඒවා පහත පරදි ය.
අ.         අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී පොලිස් නිලධාරියකු විසින් ප්‍රශ්න කරනු ලැබීම සඳහා ඉදිරිපත් විය යුතු ය. කෙසේවෙතත් මේ ප්‍රශ්න කිරීමේ කාලය හවස 6 සිට උදේ 6 දක්වා වන කාලයක් නොවිය යුතු වේ.
ආ.       නඩුවේ සිද්ධිමය කරුණු පිළිබඳව දැනුමක් ඇති යම් අයකු අධිකරණය වෙත හෝ යම් පොලිස් නිලධාරියකු වෙත එම සිද්ධිමය කරුණු හෙළිකිරීමෙන් එම තැනැත්තා වැළැක්වීම සඳහා එම තැනැත්තාට යම් පෙළඹවීමක්, තර්ජනයක් හෝ පොරොන්දුවක් කෙළින්ම හෝ අන්‍යාකාරයකින් නොකළ යුතු ය.
ඇ.        කෙළින් ම හෝ අන්‍යාකාරයකින් නඩුවේ යම් සාක්ෂි අපවේශනය කිරීම, හෝ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියෙහි ලා අන්‍යාකාරයෙකින් බාධා කිරීම නොකළ යුතු ය.
අපේක්ෂිත ඇපයක් ලබා ගත් අයකුට එරෙහි වරෙන්තුව
වරද විමර්ශනය කරන පොලිස් ස්ථානාධිපතිවරයකු විසින් ඉල්ලීමක් කරනු ලැබූ විට අපේක්ෂිත ඇප ඉල්ලීම අනුව ඇප ලබා දුන් මහේස්ත්‍රාත්වරයා විසින් ම හෝ නඩුව සඳහා අන්‍යාකාර අධිකරණ බලය ඇති මහේස්ත්‍රාත්වරයකු විසින් අපේක්ෂිත ඇපය ලද තැනැත්තාට අධිකරණයේ පෙනී සිටීම සඳහා වරන්තුවක් නිකුත් කරනු ලැබිය යුතු වේ. නමුත් මීට හේතු දැක්විය යුතු ය.
මේ ආකාරයට අදාළ තැනැත්තා අධිකරණයේ පෙනී සිටි විට පෙර ඇපයේ කුමක් සඳහන් වුවද, රඳවා තැබීමට අවශ්‍ය යැයි පෙනී යන්නේ නම් එවැනි ආඥාවක් වුවද සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කරනු ලැබිය හැකිය. කෙසේවෙතත් මෙහිදී ද හේතු වාර්තා කළ යුතු වේ.
අපේක්ෂිත ඇපයක් ලබා දුන් විට එය කෙතරම් කාලයක් වලංගුව පවතින්නේ ද?
මේ පිළිබඳව ඇප පනතේ පැහැදිලි විධාන ඇතුළත් නොවේ. නමුත් අධිකරණය විසින් එය අවලංගු කරන තෙක් අපේක්ෂිත ඇපය බලයේ පවතින බව සිතිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *