අවශ්‍ය මාර්ග අයිතිය – නීතිමය තත්ත්වය කෙටියෙන්

අවශ්‍ය මාර්ග අයිතිය – නීතිමය තත්ත්වය කෙටියෙන්

 

 

 

මාර්ග අයිතිය ආකාර කීපයකින් ලබා ගන්න පුළුවන්. ඒ ඔප්පුවකින් නැත්නම් ප්‍රදානයකින්, එකඟතාවයකින්, දීර්ඝ කාලීන බුක්තියෙන් සහ නඩු තීන්දුවකින් (M.S.Priyangika Perera v.  M.N. Gunasiri Perera & Others – S.C.Appeal No.59/2012 decided on 18.01.2018). අවශ්‍ය මාර්ග අයිතිය අනෙක් මාර්ග අයිතියට වඩා වෙනස්. හේතුව තමයි අවශ්‍ය මාර්ග අයිතිය නඩුවකින් මිසක් ලබා ගන්න බැරි වීම. ඇයි ඒ? ඒකට හේතුව තමයි අවශ්‍ය මාර්ග අයිතිය ලැබෙන්නෙ පරවශ ඉඩමේ අයිතිකාරයගෙ කැමැත්තට විරුද්ධව වීම.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැමැති තැනක වාසය කිරීම වගේම යාම් ඊම් කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියාට මූලික අයිතිවාසිකමක් තියෙනවා. මේක ලියලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඌ) ව්‍යවස්ථාවේ. මේ ව්‍යවස්ථාව 15 වන ව්‍යවස්ථාවෙන් යම් ප්‍රමාණයකට සීමා කරලාත් තියෙනවා. ඔය අපි කලින් කිව්ව අවශ්‍ය මාර්ගය මේ 14(1)(ඌ) ව්‍යවස්ථාවටත් ගැලපෙන්නයි තියෙන්නෙ. ඒකට හේතුව තේරෙන්නෙ අවශ්‍ය මාර්ගය කියන්නෙ මොකක් ද කියලා දැනගත්තම.
ඉතින් අවශ්‍ය මාර්ගය කියන්නෙ මොකක් ද? යම් කිසි පුද්ගලයකුගේ ඉඩම හතරවටෙන්ම තව ඉඩම්වලින් වටවෙලා තියෙනවා නම් සහ ඒ ඉඩම් නිසා අර ප්‍රධාන ඉඩමේ අයිතිකාරයට ලෝකය එක්ක සම්බන්ධ වෙන්න මාර්ගයකට එන්න විදියක් නැත්නම් ඒ වෙලාවට අර වටේ තියන ඉඩමක් උඩින් අනිවාර්යෙන්ම මාර්ගයක් අවශ්‍ය වෙනවානේ. අන්න ඒ වෙලාවට ලබා ගන්නා මාර්ගය තමයි අවශ්‍ය මාර්ගය කියන්නේ. දැන් පැහැදිලි ඇති කොහොමද 14(1)(ඌ) ව්‍යවස්ථාවට අවශ්‍ය මාර්ග අයිතිය බැඳෙන්නෙ කියලා.
දැන් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන්නෙ එහෙම නම් මගෙ ඉඩම උඩින් අනෙක් කෙනාට ලැබෙන මාර්ගය මොන වගේ වේවි ද කියලා. ඒක දැන ගන්න අපි දැන ගන්න ඕනා අවශ්‍ය පාරේ ස්වභාවය ගැන.
මෙතනදි මුලින් ම කියන්න ඕනා අවශ්‍ය මාර්ගයක අවශ්‍යතාවය, අධිකරණයකදී ඒ මාර්ගය ඉල්ලා සිටින තැනැත්තා විසින් ඔප්පු කළ යුතු යි. මොකද අධිකරණයෙන් අවශ්‍ය මාර්ග අයිතියක් ලබා දෙන්නෙ තමුන්ගෙ ඉඩමෙන් පිටවෙන මාර්ගයක් නැත්නම් පමණයි (1 CWR 44, David v. Gnanawathie – (2000) 2 Sri LR 352). මේ නිසා අවශ්‍යතාවය කියන කාරණය අධිකරණය දැඩිව සලකා බලනවා. De Vaas v. Mendis – (1948) 49 NLR 525 නඩු තීන්දුවෙදි මේ ගැන තීරණය කරලා තියෙන්නෙ මෙහෙම.
In a claim for a right of way of necessity the onus of proving the necessity is upon the person twiggy it. The word “necessity” in this context should be very strictly construed.
පැහැදිලි ඇති (Ceylon Petroleum Corporation v. Mashood – (2004) 2 Sri LR 55). ඒ වගේම තමයි මාර්ගය අයිතිය නැති කරගන්නෙ තමුන්ගෙම ක්‍රියාවක් නිසාවෙන් නම් එතකොටත් අසල්වැසියාගේ ඉඩමෙන් අවශ්‍ය මාර්ග අයිතිය ඉල්ලන්නත් බැහැ (Godamune v. Magilinnona – (2009) 1 Sri LR 109). මේ නිසා තමයි ප්ලෑන් අඳිද්දි කොහොම හරි හැම ඉඩමකට ම මාර්ගයක් තියෙන්න ඉඩම් කට්ටි කරන්නෙ.
ඊළඟට, අවශ්‍ය මාර්ගයක් ඉල්ලා සිටින්නාට තමුන්ගේ ඉඩමේ ඉඳලා ප්‍රධාන මාර්ගයක් එක්ක සම්බන්ධ වෙන්න තවත් මාර්ගයක් තියෙනවා නම්, ඒ මාර්ගයේ කඳු වළවල් තිබ්බා කියලා අසල්වැසියාගේ ඉඩම උඩින් අවශ්‍ය මාර්ගයක් ඉල්ලන්න බැහැ. නඩුවකදී විත්තියට මේ කාරණය වැදගත් වෙනවා. නමුත් තියෙන මාර්ගයත් එක්ක සලකලා බැලුවම අවශ්‍යතාවය අනුව ඉල්ලා සිටින මාර්ගය සත්‍ය ලෙසින් ම අවශ්‍ය මාර්ගයක් බවට ඔප්පු කලොත් පැමිණිල්ලට පුළුවන් තව පාරක් තිබියදීත් අවශ්‍ය මාර්ගයක් ලබා ගන්න. මොකද අවශ්‍ය වෙන්නෙ අවශ්‍යතාවය ඔප්පු කිරීමයි (Rosalin Fernando v. Alwis – (1957)  61 NLR 302 Held, that when a Court is called upon to decide a question of the grant of a right of way of necessity a proper test to be applied is whether the actual necessity of the case demands the grant of the right of way. In such a case it is not necessary that the plaintiff should establish that the way claimed is the only means of access from his land to the public road. If an alternative route is too difficult and inconvenient, the actual necessity of the case is the determining factor. See, Mohotti Appu v. Wijewardene – (1955) 60 NLR 46 Held, A person can claim a way of necessity for the purpose of going from one land owned by him to another. The right of way will not be granted, if there is an alternative route to the one claimed although such route may be less convenient and involve a longer and more arduous journey. Chandrasiri v. Wickramsinghe – (1965) 70 NLR 15 Held, A right of way of necessity cannot be granted if there is another though less convenient path along which access can be had to the public road.).
ඒ වගේම තමයි අවශ්‍ය මාර්ගයේ ප්‍රමාණයත් වැදගත්. දැන් අපි හිතමු කෙනෙක්ට ඕනා ත්‍රීවීල් එකක් අරන් යන්න පුළුවන් මාර්ගයක් කියලා.  ටෙන්වීල් ලොරියක් කියන්නෙ ත්‍රීවීල් එකට වඩා ලොකු වාහනයක්. ත්‍රීවීල් එකක් ගෙනියන්න අවශ්‍ය මාර්ගයක් ඉල්ලන කෙනාට ටෙන්වීල් එකක් ගෙනියන ප්‍රමාණයේ මාර්ගයක් ලැබෙන්නෙ නෑ. මෙනිසා අවශ්‍ය මාර්ගය ඉල්ලන කෙනා දැනගන්න ඕනා තමුන්ට අවශ්‍ය මාර්ගයේ ප්‍රමාණය පැහැදිලිව අධිකරණයෙන් ඉල්ලා සිටින්න. විත්තිකාරයත් දැන ගන්න ඕනා ඒ අවශ්‍යතාවය සත්‍ය ප්‍රමාණය ද ඉල්ලන්නෙ කියලා (Alwis v. Silva – (1882) 8 NLR 76 Held, The owner of a land having a jus viae over another’s land may justly maintain an action against him for the broadening of the path so as to admit of his carts having ingress and egress for purposes of his trade, provided that such extension is absolutely necessary and no material loss accrues as the result thereof.).
දැන් අපි බලමු අවශ්‍ය මාර්ගයක් ඉල්ලලා නඩු පැවරීමට ගියාම බලපාන කරුණු කීපයක්.
මේ නඩුවක අධිකරණ බලය මතු වෙන්නේ අවශ්‍යතාවය ඇති ප්‍රදේශය මත නැත්නම් ඉඩම මත. ඒක හරිම පැහැදිලි යි. ඊළඟට නඩුව සාමාන්‍ය කාර්ය පටිපාටියෙන් පැවරෙන්න ඕනා. ඉස්සර කැළුම් සර්ගෙ පන්තියෙදි අපිට නිතර ඉගැන්නුව දෙයක් තමයි සාමාන්‍ය කාර්ය පටිපාටියෙන් නඩුවක් පවරන කොට පැමිණිල්ලක තියෙන්න ඕනා ‘නස්කාව‘. නස්කාව කියන්නේ නඩු අංකය, ස්වභාවය, කාර්ය පටිපාටිය සහ වටිනාකම කියන දේ කෙටියෙන්. මේ නඩුවක වටිනාකම තක්සේරු වෙන්නේ සාමාන්‍යයෙන් මාර්ග අයිතිය ඇති කලාම වටිනාකම අඩුවෙන ඉඩමෙ අඩුවෙන වටිනාකමේ ප්‍රමාණය. මතක තියා ගන්න නිසි වටිනාකම නැති පැමිණිල්ලක් ඉවත ලන්න අධිකරණයට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46(ඌ) වගන්තිය යටතේ බලය තියෙනවා (Elwes v. Van Starrex – (1929) 30 NLR 462).
අවශ්‍ය මාර්ගය ඉල්ලා සිටින නඩුවක විත්තිකරුවන් වෙන්නේ අදාළ මාර්ගය වැටෙන අනෙක් ඉඩම්වල අයිතිකරුවන්. හවුල් ඉඩමක් හරහා නම් යන්නේ හැම හවුල්කරුවාම පාර්ශ්ව කරන්න වෙනවා. ඉඩම් කීපයක් හරහා වැටෙනවා නම් ඒ හැම ඉඩමකම අයිතිකරුවන් පාර්ශ්ව විය යුතු යි.
ඊළඟට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 41 වගන්තිය අනුව කටයුතු කරන්න වෙනවා (David v. Gnanawathie – (2000) 2 Sri LR 352). අදාළ මායිම් ගැන, ප්‍රමාණය ගැන නිශ්චිත දැනුමක් අවශ්‍ය මාර්ගයකදි නොමැති නිසා කොමිෂමක් ඉල්ලා සිටීම වඩාත් යෝග්‍යයි.
විත්තිය පැත්තෙන් ගත්තොත් උත්තරයෙදි අනිකුත් සහන අතරේ හදිසියෙ හරි අවශ්‍ය මාර්ගයක් පැමිණිලිකාරයට ලැබුනොත් ඊට අදාළව වටිනාකමට වන්දි ඉල්ලන්න පුළුවන්. විත්තිකාරයගේ ඉඩමෙන් විත්තිකාරයගෙ කැමැත්තක් නොමැතිව පැමිණිලිකාරයට මාර්ග අයිතියක් ලැබෙන නිසා විත්තිකාරයට යුක්තියක් වෙන්න මේ අයිතිය පවතිනවා. හැබැයි වන්දි ලැබෙනවා කියලා මාර්ගයේ ගමන් කරන සැරයක් ගානෙ සල්ලි ලැබෙන්නෙ නෑ (Kodituwakku v. Manseer – (1922) 24 NLR 59 Held, that the order as to payment of a sum annually was inconsistent with the granting of a way of necessity, and remitted the case for the Commissioner to ascertain what should be paid for the way.).
මාර්ග අයිතියක් තියෙන කෙනෙක්ට ඒ මාර්ග අයිතිය අහිමි කරන අවස්ථාවකදී විත්තිකාරයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට බාධාවක් නැහැ. නමුත් අවශ්‍ය මාර්ග අයිතියකදී මේ තත්ත්වය සැක සහිතයි. මොකද මාර්ගය ඔහුට ලැබෙන්නෙත් අවශ්‍යතාවය ඔප්පු කලාට පස්සෙ. සාමාන්‍යයෙන් තහනම් නියෝගයක් ලබා ගන්න පුළුවන් වෙන්නෙ තියෙන නැත්නම් පවතින අයිතිවාසිකමක් අවහිර කරද්දි.
ඉතින් මේ වගේ නඩුවක පැමිණිල්ලේ ප්‍රධානම විසඳිය යුතු කරුණ වන්නේ ‘අවශ්‍යතාව‘ ය. ඉඩමේ අයිතිය ආදී අනෙක් සියළුම කරුණු ඇවිල්ලා අනුකූල කරුණු. ඔප්පු කිරීමේ භාරය තියෙන්නෙ පැමිණිල්ලට.
ඉහළින් අපි කථා කරපු කරුණු කාරණා සමහරක්විට ඔබට නීතීඥ වෘත්තියෙ කටයුතු කරද්දි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැබැයි මේ අදාළ විෂය ගැන සම්පූර්ණ විස්තරයක් නොවෙයි. ඒ නිසා ඔබ තවත් මේ ගැන කරුණු හොයලා යාවත්කාලීන වෙන්න අවශ්‍යයි. ඉහතින් සඳහන් කරලා තියෙන නඩු තීන්දුවලට වඩා වෙනස් නඩු තීන්දු සමහරක් විට ඔබට මුණ ගැසේවි. වෙනස් නීති තත්ත්වයන්. ඒ ගැන ඔබ අවධානය යොමු කරන්න. මේක සාමාන්‍ය මග පෙන්වීමක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *