Boundaries

————- මායිම් ——-
සිවිල් අධිකරණයේ එදිනෙදා නඩු කටයුතු කිරීමේ දී ඉඩම් නඩුවලට පෙනී සිටීමට නීතීඥවරුන්ට සිදු වේ. එවැනි නඩු වලදී ප්‍රශ්නගත වන එක්තරා විෂයයකි ‘මායිම්’. මේ සම්බන්ධයෙන් කෙටි විමසුමක් මෙහි දැක්වේ.
මායිම යන්න Wharton’s Concise Law Dictionary හිදී “..is an imaginary line which marks the confines or line of division of two contiguous parcels of land. It also denotes the physical objects by reference to which the line of division is described as well as the line of division itself.” ලෙසින් දක්වා ඇත. සාමාන්‍යයෙන් මායිම යන්නෙන් හඳුන්වන්නේ යම් භූමි ප්‍රමාණයක් අනිකුත් භූමිවලින් වෙන්කර දක්වන සීමාව වේ. මෙය නිශ්චිතව පවතින්නක් නොවේ. මේ ආකාරයට වන මායිම්, ප්‍රධාන වශයෙන් දෙයාකාරයකට වර්ග කෙරේ. එනම් ස්වභාවික මායිම් සහ මිනිස් මැදිහත්වීමෙන් සකස් වූ මායිම් ලෙසිනි. ස්වභාවික මායිම් ස්වභාවයෙන්ම (ගංගාවන් වැනි) සකස්ව ඇති අතර යම් සීමාවක් නිර්ණය කර ගැනීම සඳහා මිනිසා විසින් සකස් කර ගනු ලැබූ මායිම් අනිකුත් මායිම් වර්ගය වේ. මෙකී දෙවර්ගයේ මායිම්, භාවිතයේදී තවත් අනු වර්ග කීපයකට බෙදා දක්වා ඇතත් මෙහිදී අපි ඒ ගැන සාකච්ඡා නොකරන්නෙමු.
ශ්‍රී ලංකාවේ දී දේපල පැවරීම ඔප්පු මගින් සිදු කරන බව අපි දන්නා කරුණකි. වංචා වැලැක්වීමේ ආඥාපනතේ 2 වන වගන්තියේ උපචාර අනුගමනය කරමින් එය සිදු කරනු ලැබේ. ඔප්පුවේ උපලේඛනයේ පැවරීම සිදු කරන දේපල පැහැදිලිව දැක්වීම නොතාරිස්වරයාගේ වගකීමයි. ඒ සඳහා මායිම් නිවැරදිව දැක්වීම අත්‍යවශ්‍ය වේ. ඔප්පුවේදී මායිම් හතර පමණක් නොව ඔප්පුවෙන් පවරනු ලැබෙන ප්‍රමාණය ද පැහැදිලිව දැක්විය යුතු වේ. උපලේඛනයට එකී අවශ්‍යතා ඇතුළත් කිරීමෙන් එහි දැක්වෙන ප්‍රමාණයෙන් යුතු දේපල පැවරීම නොතාරිස්වරයා ඉදිරියේ සිදු කළ බව තහවුරු කරයි. එකී පැවරීම වංචාවක් නොවන ආකාරයෙන් පැවරීමට මග සැලැස්වීම වංචා වැලැක්වීමේ ආඥාපනතේ කාර්යයි.
ලංකාවේ අධිකරණවල මායිම් ප්‍රශ්නගත වන්නා වූ නඩු කීපයක් ම දක්නට ලැබේ. බෙදුම් නඩු, අයිතිය ප්‍රකාශ කරවා ගැනීමේ නඩු, Re vindicatio නඩු, මායිම් නිරාකරණය කිරීමේ නඩු ආදී ලෙසින් ඒවා දැක්විය හැක. සාමාන්‍යයෙන් මායිම් ඔප්පු කිරීමේ භාරය ඇත්තේ පැමිණිලිකරුට වුවත් නඩුවේ දී මතුකෙරෙන විසඳනා අනුව ඔප්පු කිරීමේ භාරය දෙපාර්ශ්වය අතර බෙදී යනු ඇත. මේ අනුව ඔප්පු කිරීමේ භාරය, මායිම් වෙනස්යැයි කියන පාර්ශ්වයට පැවරේ. එකී මායිම් සෘජු සාක්ෂි මගින් මෙන්ම පරිවේශනීය සාක්ෂි මගින් ද ඔප්පු කළ හැක. ඒ තුළින් මායිම් සීමා පෙන්විය හැක. ඔප්පුවක උපලේඛනයේ දක්වා ඇති දේපල සම්බන්ධයෙන් හොඳම සාක්ෂිය එම ඔප්පුව වේ. නමුත් එය අර්ථ නිරූපණය කිරීමේ වගකීම පැවරෙන්නේ අධිකරණයටය. කෙසේවෙතත් සෑම අවස්ථාවක ම මායිම් හඳුනා ගැනීම පහසු කරුණක් නොවේ. එවන් විටක දී විසඳනාව සිද්ධිමය සහ ‍නෛතික කරුණු මිශ්‍රව පවතින අවස්ථාවකි. මෙවන් විටදී අදාළ පාර්ශ්වය විසින් එම සිද්ධිමය කරුණ ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
මායිම් සම්බන්ධයෙන් වන විටදී ක්‍රියාත්මකවන පූර්ව නිගමනයන් ද කීපයකි. නියමාකාරයෙන් සවි කල මායිම් කණු හෝ පුරාණ ස්මාරක නිවැරදිව මායිම පෙන්වන බවට වන පූර්ව නිගමනය ඉන් එකකි. එවන් විටකදී එය එසේ නොවේයැයි කියන පාර්ශ්වයට ඒ බව ඔප්පු කිරීමේ වගකීම පැවරේ. ස්මාරක නිවැරදිව හඳුනා ගත් විටදී ඒ ඔස්සේ අඳිනු ලැබිය හැකි රේඛාව නිවැරදිව මායිම පෙන්වන බවට ද පූර්ව නිගමනයක් වේ. මෙකී ස්මාරක, මායිම් නිර්ණයේ දී හොඳම සාක්ෂි වන්නේ ඒවාම ඒවායෙන් කියවෙන දේ සම්බන්ධයෙන් සාක්ෂි වන නිසාවෙනි. නමුත් මේ ආකාරයෙන් ස්ථිරවම මායිම් නොපෙන්වන විටක දී පහත කරුණු මායිම් නිරාකරණය සඳහා උපකාර වේ. ඒ අනුව ස්වභාවික මායිම් සඳහා ප්‍රථමස්ථානය ලැබෙන අතර ඒවා අනිකුත් මායිම් පාලනය කරයි. නමුත් සෑම ඉඩමකම ස්වභාවික මායිම් නොමැත. එසේම මිනින්දෝරුවරයා විසින් මැනීමෙන් පසුව සිටුවනු ලැබූ මායිම් ගල් නිවැරදි මායිම පෙන්වන බවට ද පූර්ව නිගමනයක් වේ. ස්වභාවිකව හෝ මිනිස් මැදිහත්වීමෙන් සකස්කළ මායිම් පෙන්වීමට නොහැකි විට අසල්වාසී ඉඩම් හි මායිම් සැලකිල්ලට ගනු ලැබේ. දුර ද මායිම හඳුනා ගැනීමට යොදා ගනී. එසේම ප්‍රමාණය ද මායිම ඔප්පු කිරීමට සාධකයකි.
මායිම් හා බැ‍ඳෙන, මිනින්දෝරුවරුන්ට ද අදාළවන පූර්ව නිගමන කීපයක් වේ. ඒ අනුව පුද්ගලික මිනින්දෝරුවරයකුගේ පිඹුරකට වඩා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සකස් කර ඇති පිඹුරු සඳහා ප්‍රමුඛස්ථානය ලැබේ. ඊට හේතුව වන්නේ රජයේ කටයුතු නිසි ලෙසින් සිදු කරන බවට වන පූර්ව නිගමනයයි. කෙසේවෙතත් මෙකී පූර්ව නිගමනය අවසානාත්මක පූර්ව නිගමනයක් නොවේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සකස් කරනු ලැබූ පිඹුරකට විරුද්ධව, දොස් තැබීම සඳහා පුද්ගලික පිඹුරක් යොදා ගත හැක්කේ මුල පිඹුර අවිනිශ්චිත වන්නේනම් පමණි. එසේම පුද්ගලික පිඹුරකින් එම පිඹුරට අදාළ පාර්ශ්වයන් පමණක් බැඳෙන අතර ආගන්තුකයන් ඉන් බැඳෙන්නේ නැත.
සාමාන්‍යයෙන් පිඹුරකට නෛතික පිළිගැනීම ලැබෙන්නේ එය ඔප්පුවකින් පැවරෙන විටදී ය. එසේත් නැත්නම් යම් බිමක මායිම් අතර ඇති භූමියට අයිතිය කිව හැක්කේ (යම් ව්‍යතිරේකයන්ට යටත්ව) ඔප්පුව මත රැ‍ඳෙමිනි. නොතාරිස්වරයා විසින් වංචා වැලැක්වීමේ ආඥාපනතේ ප්‍රතිපාදන පරිදි සකස්කොට ඇති ලේඛනයක කරුණු වෙනස් කිරීම සඳහා වාචික සාක්ෂි මෙහෙයවීමට හැකියාව නැත. නමුත් අදාළ ලේඛනයෙන්ම ප්‍රශ්නය විසඳා ගැනීමට හැකියාවක් නොලැබෙන අවස්ථාවක දී වෙනත් සාක්ෂි ලබා දීමට හැකියාව ඇත. මායිම් සම්බන්ධයෙන් වන විටදී මේ අනුව ඔප්පුවේ උපලේඛනයේ ඇති මායිම්, සාක්ෂි ආඥාපනතේ ප්‍රතිපාදන අනුව වෙනස් සාක්ෂි ලබා දී වෙනස් බව ඔප්පු කරන තෙක් නිවැරදි බවට පිළිගැනේ. එසේ වූවත් ඔප්පුවේ දැක්වෙන ස්මාරක මොනවාද, මායිම් හැඳින්වීමට වැනි අවස්ථාවලදී වාචික සාක්ෂි අදාළ කරගත හැක. මැනීම සිදු කරන අවස්ථා‍වේ දී සකස් කරනු ලැබූ සටහන්, සැකිලි සම්බන්ධයෙන් වාචික සාක්ෂි ලබා දීමේ බාධාවක් නැත.
මායිම් ඔප්පු කිරීමේ දී ප්‍රවාදක සාක්ෂි ලබා දීමට ද හැකියාව ඇත. සාමාන්‍යයෙන් ඈත අතීතයේ සිට පැවතඑන මායිමක් ඔප්පු කිරීමට ප්‍රවාදක සාක්ෂි නොමැතිව හැකියාවක් නොමැති අවස්ථා ඕනා තරම් පවතී. මේ අනුව ප්‍රකාශක මියගොස් ඇති විටදී මිනින්දෝරුවරයාට මැනීමට සහය දුන් අයගේ සාක්ෂි කැඳවීමට වුවද හැකියාව ඇත. එසේම විරුද්ධ පාර්ශ්වය විසින් මායිම් පිළිගැනීම ද සාක්ෂි වේ. තවද ප්‍රශ්නගත මායිමට අසල්වාසීව දිගු කලක් තිස්සේ ජීවත්වන අය විසින් එකී මායිමට කිසිදු බාධාවක් නොමැතිව පැවති බවට ලබා දෙන සාක්ෂි ද අනුකූල කළ හැක.
මේ සම්බන්ධයෙන් බලන්න සාක්ෂි ආඥාපනතේ 3, 32(6) සහ (8), 36, 83, 87 වගන්ති සහ 92 (ඈ) නිදර්ශනය. එසේම 49 NLR 274, 33 NLR 154, 30 NLR 197

Leave a Reply

Your email address will not be published. Required fields are marked *