Gift

තෑග්ග

අවුරුද්ද ආරම්භයේ දී තෑගි ඔප්පුවක් අවලංගු කිරීම ගැන අවධානය යොමු කරන්නයි අදහස.

බොහෝ අවස්ථා වල දී දෙමව්පියෝ දූ දරුවෝ නැත්නම් සහෝදර ‍සහෝදරියො අතරේ දේපල තෑගි දීම සිදු කෙරෙනවා. පසු කාලීනව ඇති වන හේතූන් නිසාවෙන් දීපු තෑගි ආපහු ඉල්ලගන්නත් තෑගි දීමනාකරුට හිතෙනවා. අන්න ඒ වගේ වෙලාවලදී උපදෙස් ඉල්ලන කෙනෙක්ට කියන්න පුළුවන් මොනවා ද කියල අපි බලමු.

තෑග්ග

තෑග්ගක් කියන්නෙ මොකක් ද කියලා හඳුනා ගන්න අවශ්‍යයි මෙතනදි. ලංකාවේ දේපලක් පැවරීම සිදු කෙරෙන්නේ ලිඛිත සාධන පත්‍රයක් මගින්. සාමාන්‍ය වචනය මේ සම්බන්ධයෙන් අපි භාවිතා කරන ‘ඔප්පුව’. ප්‍රධාන වශයෙන්ම දේපල පැවරීම විකුණුම් ඔප්පුවකින් හෝ තෑගි ඔප්පුවකින් සිදු වෙනවා. අපි තරඟයකින් හෝ යම් අවස්ථාවක් නිසාවෙන් කෙනෙක්ට යම් තෑග්ගක් දෙන්නේ කිසිම දෙයක් ආපසු ඒ තෑගි ලැබුම්කාර‍යාගෙන් බලාපොරොත්තුවක් නැතිව. දේපලත් ඒ වගේම තෑගි ඔප්පුවක් මගින් පවරන්න පුළුවන්.

දේපල තෑගි දීම සම්බන්ධයෙන් සැළකීමේ දි ලංකාවේ අපි යොදා ගන්න නීතිය රෝම – ලන්දේසි නීතිය බව පැහැදිලි කරුණක් ( S.C. Appeal No. 64/2008 decided on 2010.05.06).

තෑගි ඔප්පුවකින් දේපල පැවරීම සම්බන්ධයෙන් වන විට දී ඒ පැවරීමේ ස්වභාවය මොකක් ද කියලා  S.C. Appeal No. 2/2009 decided on 04.06.2010නඩු තීන්දුවෙ දි දක්වලා තියෙන්නේ මේ විදියට.

“The essence of a Deed of Gift is to convey movable or immovable property as a gratuitous transfer. The intention of the donor is to convey the movable or immovable property to the donee.”

සරලවම ගත්තම තෑග්ගක් කියන්නේ, තව පුද්ගලයකුට යම් දෙයක් දෙන්න කිසිම නෛතික බැඳීමක් නැති තැනැත්තෙක් විසින් ඒ පුද්ගලයගෙන් කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී යම් පුද්ගලයකුට යම් දෙයක් දීම හෝ දීමට පොරොන්දු වීම විදියට සළකන්න පුළුවන්.

නමුත් මේ තුළදී පුද්ගලයින් දෙදෙනකු අතරෙ දේපල හුවමාරු වීමක් සිදු වන නිසාවෙන් ඒ තුළ වංචාවක් සිදු වෙන්න ඉඩ තියෙන නිසාවෙන් එය වැළැක්වීම සඳහා වංචා වැළැක්වීමේ ආඥාපනතේ 2 වගන්තියේ විෂය පථයට තෑගි ඔප්පුව ඇතුළත් කරලා තියෙන නිසා වලංගු තෑගි ඔප්පුවක් නොතාරිස්වරයකු විසින් සහතික කරන්න සිද්ධ වෙනවා.

දේපලක් නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් ඕනා කෙනෙක්ට පුළුවන් ඒ දේපල තවත් කෙනකුට තෑගි දෙන්න. හැබැයි ඒ තෑග්ග භාර ගන්න කෙනාට නීතියට අනුව තෑග්ග භාර ගන්න පුළුවන් වෙන්න ඕනා. දැන් උදාහරණයක් විදියට බාල වයස්කරුවකුට බෑ නේ තෑග්ගක් බාර ගන්න. මේ අනුව ඔබට පෙනී යනවා ඇති තෙවැනි පාර්ශවයකට අයිති දෙයක් තෑගි දෙන්න හැකියාවක් නොමැති බව. තෑගි ඔප්පුවක් ලියන නොතාරිස්වරු මේ නිසා ඉඩම් කන්තෝරුවේ පත් ඉරු පරීක්ෂා කිරීම ඉතා වැදගත් බව සිහි තබා ගන්න ඕනා.

මේ විදියට දෙන්න පුළුවන් තෑගි, ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඒ ජීවතුන් අතරේ දෙන තෑගි (inter vivos) සහ මරණය බලා‍පොරොත්තුවෙන් දෙන ‍තෑගි (Donatio mortis causa).

ජීවතුන් අතරෙ දෙන තෑගි

ජීවතුන් අතරෙ දෙන තෑග්ගක් මරණය හැර වෙනත් යම් කොන්දේසියක් ඇතුල් කරමින් දෙන්න පුළුවන් වගේම කිසිම කොන්දේසියක් නැති ව ත් දෙන්නත් පුළුවන්. විවාහය මුල් කර ගෙන දෙන තෑගි, ජීවිත භුක්තිය තියන් දෙන තෑගි මේ තුළට ඇතුල් වෙනවා. මේ ආකාරයේ ජීවතුන් අතරේ දෙන තෑග්ගක් වුනත් තවත් කාණ්ඩ දෙකක ට වර්ග වෙනවා, සම්පූර්ණ සහ අසම්පූර්ණ තෑගි විදියට.

සම්පූර්ණ තෑගි කියන දෙයින් අදහස් වෙන්නේ තෑගි ලැබුම්කරුවා විසින් භාරගත් වහාම ඔහුට අයිති වෙන සහ නැවත තෑගි දීමනාකරුට නොහැරෙන චේතනාවෙන් දෙන තෑග්ගක්. මේ තෑගි සාමාන්‍යයෙන් අවලංගු කරන්න බෑ.

අසම්පූර්ණ තෑගි කියන දෙයින් අදහස් වෙන්නේ තෑගි ලැබුම්කරුවා විසින් භාරගත් වහාම ඔහුට අයිති නොවන නමුත් යම් කිසි සිද්ධියක් හරි කොන්දේසියක් හරි ඉටු වුනාම ඔහුට සම්පූර්ණයෙන් අයිති වෙන එහෙම නැත්නම් නැවතත් තෑගි දීමනාකරුට ආපසු අයිති වෙන විදියෙ තෑග්ගක්. උදාහරණයකට විවාහයක් සිදු වෙයි කියන සිතුවිල්ලෙන් දෙන තෑග්ගක්, ඒ විවාහය සිදු වෙන්නේ නැත්නම් හෝ විවාහය අවසන් වූ විට ආපහු තෑගි දීමනාකරුට ම ලැබෙනවා. බලන්න පහත නිරීක්ෂණය.

“A deed written in contemplation of marriage would never be challenged during the subsistence of a valid marriage. It is only when the marriage break up that the party concerned would give her or his mind to challenge the deed.” M. A. Amalapala Munasinghe v. S. A. Sandya Kasthurirathne (C.A. No. 138/1998 decided on 2012.01.13)

තෑග්ග පිළිගැනීම

ජීවතුන් අතරෙ දෙන තෑග්ගක් සම්පූර්ණ වෙන්නේ තෑගි ලැබුම්කරු විසින් ඒ තෑග්ග පිළිගත්තම. මේ පිළිගැනීම ප්‍රකාශිතව වගේම ව්‍යංගයෙන් වෙන්නත් පුළුවන්. ඒ මොන විදියෙන් වුනත් වෙන්න ඕනා දේ තමයි තෑග්ග පිළිගැනීම. මේ ගැන බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විසින් S.C. Appeal No. 2/2009 decided on 04.06.2010 නඩුවෙ දී දක්වලා තියෙන්නේ පහත ආකාරයට.

“The intention of the donor is to convey the movable or immovable property to the donee. Therefore, for the purpose of making the donation complete, the gift has to be accepted.”

ප්‍රකාශිතව පිළිගැනීම කරද්දි තෑගි ඔප්පුවෙන්ම ඒ පිළිගැනීම කරන ආකාරය තමයි වැඩියෙන් ම අපි දකින්නේ. එතකොට ඔප්පුවට තෑගි දීමනාකරු වගේම තෑගි ලැබුම්කරු කියන තැනැත්තන් දෙන්නා ම අත්සන් තබනවා.

ව්‍යංගයෙන් පිළිගැනීම කරද්දී ඒක නොයෙක් ආකාරයෙන් වෙන්න පුළුවන්. හිතන්න තාත්තා කෙනෙක් ගෙයක් තෑගි කරනවා පුතාට. ඉන් පස්සේ පුතා ඒ ගෙදර පදිංචියට යනවා. ඒකම ඒ තෑග්ග පිළිගත්තා වෙන්න පුළුවන් (Nagalingam v Thanabalasingham). මේ ගැන හචිසන් අගවිනිසුරුතුමා විසින් Senanayake v Dissanayake (1908) 12 N.L.R. 1 නඩුවෙදි නිරීක්ෂණය කරලා තියෙන්නේ පහත විදියට.

The deed does not state that the gift was accepted; but that is not essential. It is an inevitable inference from the facts which are above stated that Kachchi was in possession, with the consent of the grantor, at the date of the sale of her interest; and thereafter the purchaser of her interest possessed it during the rest of her life. It is the natural conclusion from the evidence that Ukku Menika, with the consent of the grantor, accepted the gift for herself and her children.”

තවදුරටත් කනකරත්න විනිසුරුතුමා විසින් Nagalingam v Thanabalasingham (1948) 50 N.L.R. 97 නඩුවෙදි මේ ගැන කථා කරන්නේ මේ විදියට.

“There is a natural presumption that the gift was accepted. Every instinct of human nature is in favour of that presumption. It is in every case a question of fact whether or not there are sufficient indications of the acceptance of a gift

එහෙම බලද්දි පැහැදිලි වෙනවා ‍ඇති මනුෂ්‍ය හැසිරීම් අනුව තෑග්ගක් ලැබුම්කරු විසින් පිළිගත්තා කියන දේ තෑග්ගක් දුන්නම පූර්ව නිගමනයක් විදියට අධිකරණයට මතු කරන්න පුළුවන් බව.

Waas v. Perera Et Al.(1930) 32 NLR 69

Donation-Life interest reserved-Gift inter vivos-Death of donee before donor.

Where a deed of gift was expressed in the following terms :-

I, . . . ., have granted, conveyed and set over to them the donees, that I, the grantor, shall not hereafter at any time or in whatsoever manner alter or change the said gift, and besides it is hereby ordained that, after the death of me, the grantor, this gift shall be owned and possessed by them . . . There full power is hereby granted to the five donees and their heirs, assigns, and representatives so as to enable them to possess and enjoy for ever all the right and power which I, donor, my heirs, assigns, and representatives have and hold subject to the aforementioned conditions and agreements.

Held, that the gift amounted to a donation inter vivos and that the subject of the gift vested at once on the donees.

තෑගි ඔප්පු අවලංගු කිරීම

මේ විදියට තෑගි දීමනාකරු විසින් තෑගි දෙන සහ තෑගි ලැබුම්කරු විසින් පිළිගන්නා සම්පූර්ණ කරන තෑග්ගක් තෑගි දීමනාකරුට අවලංගු කරන්න පුළුවන් බව පිළිගෙන තියෙනවා. නමුත් සාමාන්‍ය පිළිගැනීම තමයි සම්පූර්ණ වුන තෑග්ගක් අවලංගු කරන්න බැරි බව. මේ සම්බන්ධයෙන් ලංකාවේ දි අදාළ වෙන නීතිය රෝම – ලන්දේසි නීතිය. මේ ගැන S.C. Appeal No. 64/2008 decided on 2010.05.06 නඩුවෙදි නිරීක්ෂණය වෙන්නේ පහත ආකාරයට.

“The law on donation and the revocation of gifts in Sri Lanka is governed by Roman Dutch Law, under which a gift once donated, can be revoked on grounds of gross ingratitude by the donee to the donor. The donor may initiate court proceedings to cancel the gift so donated.”

තමන් දීපු තෑග්ගක් අවලංගු කරන්න තෑගි දීමනාකරුට ක්‍රම කීපයක් උදව් කර ගන්න පුළුවන්. ඒ ගැන අමරසිංහ විනිසුරුතුමා විසින් Dona Podi Nona Ranaweera Menike v. Rohini Senanayake (1992) 2 Sri LR 180 නඩුවෙදි විස්තර කථා කරනවා. නමුත් අපි මේ ලිපිය සඳහා වැඩි විස්තර කථා නොකර ඒ ක්‍රමවේදය මොකද්ද කියලා විතරක් හඳුනා ගමු. ඒ ක්‍රම පහත විදියට හඳුනා ගන්න පුළුවන්.

(i) if the donee failed to give effect to a direction as to its application (donatio sub mode), or

(ii) on the ground of the donee’s ingratitude or

(iii) if at the time of the gift the donor was childless but afterwards became the father of a legitimate child by birth or legitimation. (Vidanelage Swarnalatha Perera v. Vidanelage Gamini Soysa C.A.No.1125/98 (F) decided on 05.02.2014)

මේ අතරින් වඩාත් ම කථා කරන්නේ දෙවැනි අංගය, ඒ කියන්නේ අකෘතඥතාවය. නමුත් මේ අකෘතඥතාවය සාමාන්‍යය අකෘතඥතාවක් වෙන්න බෑ. ඒක බරපතල අකෘතඥතාවක් වෙන්න ඕනා බව අපේ අධිකරණ තීරණ‍ය කරලා තියෙනවා. මේ කලින් සඳහන් කරපු Dona Podi Nona Ranaweera Menike v. Rohini Senanayake නඩුවෙදි කථා කරන්නේ අකෘතඥතාවය එක් සිදුවීමකින් පෙන්නුම් කරන්න පුළුවන් ද නැත්නම් සිද්ධි දාමයක් අවශ්‍යය ද කියන එක. එක් සිදුවීමකින් ම වුනත් වෙන්න පුළුවන් බව Krishnaswamy v. Thillaiyampalam (1957) 59 NLR 265 නඩුවෙ දි තීරණය වෙලා තියෙනවා. කොහොම වුනත් ඒ අවස්ථාව ඒ ඒ නඩුවෙ සිද්ධිමය කරුණු අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. ඇත්තටම අකෘතඥතාවය තෑගි ලැබුම්කරුගේ හිතේ ඇති වන සිතුවිල්ලක්. මේ සම්බන්ධයෙන් චිත්‍රසිරි විනිසුරුතුමා විසින් Vidanelage Swarnalatha Perera v. Vidanelage Gamini Soysa නඩුවෙදි දක්වලා තියෙන්නේ පහත විදියට.

“Looking at all those decisions and the law prevailing in this country, particularly the Roman- Dutch law principles, it is my opinion that a decision as to whether there exist sufficient material to establish gross ingratitude basically depends, on the state of mind of the doneeor in other words by ascertaining whether the donee in fact, intended causing gross ingratitude. Thus, such an issue can only be decided by applying what is commonly known as the “subjective test”.”

ෆුට් අකෘතඥතාවය අවස්ථා පහකින් ප්‍රකාශිතව දක්වලා තියෙනවා.

(1) the laying of impious hands of the donee on the donor; (2) the doneeoutrageously defaming the donor; (3) the donee causing the donor enormous loss; (4) the donee plotting against the donor’s life; (5) thedonee failing to fulfil the conditions annexed to the gift. (Sivarasipillai v. Anthonypillai (1937) 40 N. L. R 47)

කොහොම වුනත් ඒ ඒ සිද්ධි මත පදනම් වන නිසාවෙන් ඉහතින් කියන අවස්ථා පහට විතරක් ම අකෘතඥතාවය සීමා වෙන්නේ නෑ. Dona Podi Nona Ranaweera Menike v. Rohini Senanayake නඩුවෙදි පැහැදිලිව ම කියනවා තවත් කරුණු වලින් අකෘතඥතාවය ඔප්පු කරන්න පුළුවන් ‍බව.

ඔප්පු කිරිමේ භාරය

තෑගි ඔප්පුවක් අවලංගු වෙන්නේ ස්වයංක්‍රීයව නෙමෙයි. ඒ සඳහා අධිකරණ තීන්දුවක් අවශ්‍යයි. ඒ බව Dona Podi Nona Ranaweera Menike v. Rohini Senanayake නඩුවෙදි පැහැදිලිවම තීන්දු වෙලා තියෙනවා. කොහොම වුනත් පහුගිය කාලේ, ඒ කියන්නේ 2007.11.30 වැනිදා අභියාචනාධිකරණයේ තීරණය වුන C.A.535/95 (F) නඩු තීන්දුව මීට ටිකක් වෙනස් වුනා කිව්වොත් හරි. මොකද මේ නඩු තීන්දුවෙදි කථා කළේ අකෘතඥතාවය ප්‍රකාශ කරලා තෑගි දීමනාකරු නොතාරිස් ලේඛනයක් ලිව්වට පස්සේ තෑග්ගක් අවලංගු වීම සම්බන්ධයෙන්. මේ නඩු තීන්දුව අනුව යමින් පස්සෙ හුඟක් අය තමන් කලින් දීපු තෑගි අවලංගු කරන්න පටන් ගත්තා අධිකරණයට යන්නෙ නැතිව. අනික් අතට පෙර කී තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අභියාචනා අවසර ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ තත්ත්වෙ තවත් සංකීර්ණ වුනා. ඒකෙ අවසන් ප්‍රතිඵලය වුනේ ඒ සම්බන්ධයෙන් විශේෂ කොමිෂමක් පත් කරන්න යෙදුන එකයි. ඒ තුළින් පනතක් කෙටුම්පත් කරලා තියෙනවා තෑගි ඔප්පු අවලංගු කිරීම ගැන.

මගේ පුද්ගලික මතය ඉහත කී C.A.535/95 (F) තීන්දුව පවත්නා නීතිය නිවැරදි ව ම පෙන්නන තීන්දුවක් නොවේ කියලයි. කොහොම වුනත් ඒ තීන්දුවට පසු කාලීනව අපේ ඉහළ අධිකරණ විසින් ඒ තීන්දුව ගැන සඳහනක් නොකර තෑගි ඔප්පුවක් අකෘතඥතාවය මත අධිකරණයට ගොස් අවලංගු කිරීම ගැන කථා කරලා තියෙනවා. ඒ තීන්දු මගේ FB පිටුවෙ පළ කරලා ඇති.

කොහොම වුනත් කෙනකු අකෘතඥතාවය මත තෑග්ගක් අවලංගු කර ගන්න නඩුවක් පැවරුවම ඒ අකෘතඥතාවය ඔප්පු කිරීමේ වගකීම තියෙන්නේ තෑගි දීමනාකරුට. එහිදී ඔහු පෙන්වන්න ඕනා තෑගි ලැබුම්කරුගේ තියෙන අකෘතඥතාවය. පෙර දී කීවා වගේ ඒක එක් සිදුවිමකින් හෝ සිදුවීම් මාලාවකින් පෙන්නුම් කරන්න පුළුවන්. මෙතනදි අවශ්‍ය වන ඔප්පු කිරීමේ භාරය කොයි ‍වගේ ද කියලා සාකච්ඡා කෙරෙනවා, Ariyawathie Meemaduma v. Jeewani Bodhika Meemaduma (S.C. Appeal No 68/2010 decided on 26.07.2011) නඩු තීන්දුවෙදි. එහිදී අමරතුංග විනිසුරුතුමා මෙහෙම කියනවා.

“A deed of gift is absolute and irrevocable. That is the rule. However the law has recognized certain exceptions to the rule of irrevocability. A party applying to Court to invoke the exceptions in his favour has to satisfy court, by cogent evidence, that the court would be justified in invoking the exception in favour of the party applying for the same. A mere ipse dixit like “he threatened to kill me” is not sufficient to discharge that burden.”

මේ අනුව පේනවා ඇති අකෘතඥතාවය විශ්වාසය ඇති කරවන, ප්‍රභල සාක්ෂි මගින් ඔප්පු කරන්න ඕනා ‍බව. එහෙම වුනොත් පාර්ශවයකට පුළුවන් අධිකරණයේ අවසරය ඇති ව තෑගි ඔප්පුව අවලංගු කර ගන්න.

තෑග්ග අවලංගු කිරීමෙන් පසු තත්ත්වය

අකෘතඥතාවය හරි කලින් කියපු වෙනත් හේතුවක් නිසාවෙන් තෑග්ග අවලංගු කළාට පස්සේ ඇති වන තත්ත්වය ටිකක් විමසන්න අවශ්‍යයි. අධිකරණ නියෝගයට අනුව තෑග්ග අවලංගු කළාම නැවතත් ඒ තෑගි දුන් දේපල දීමනාකරුගේ හිමිකමට ම ලක් වෙනවා. කොහොම වුනත් ෆුට් කියන විදියට අකෘතඥතාවය ඇති වෙන්න කළින් තෑගි ලැබුම්කරු විසින් සද්භාවයෙන් බැහැර කරන දේපල සම්බන්ධයෙන් අවලංගු කිරීම අදාළ වෙන්නේ නෑ. ඔහු ප්‍රකාශ කරන විදියට දේපල උකසකට හෝ බද්දකට දීලා තියෙනවා නම් දීමනාකරුට ආපහු ලැබෙන්නේ ඒ වගකීම් එක්කයි. මේ සම්බන්ධයෙන් බලන්න මාර්ස්ඩොෆ්ගේ ඉන්ස්ටිටියුට් පොතේ 8 වන සංස්කරණයේ 3 වෙළුමේ 60 පිටුව.

litis contestatio

තෑගි ඔප්පුවක් අවලංගු කිරීම ගැන කථා කරද්දි මේ ගැනත් ටිකක් හරි සඳහනක් වෙන්න ඕනා. මොකද මේ ප්‍රශ්නය මතු වෙන්න මේ ස්වභාවයේ නඩුවක දී බො‍හෝ දුරට ඉඩ තියෙන නිසා.

හුඟ වෙලාවට දෙමාපි‍යො දරුවන්ට දෙන තෑගි අවලංගු කරන්න තමයි නඩු පැවරෙන්නේ. ඒ දෙමව්පියන්ට වයස ගියාම නොසැළකීම තමයි සිදු වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් නඩුව දාලා ටික කාලයක් යද්දි අර පැමිණිලිකාරයා මැරෙනවා. ‍අනික් අවස්ථාවක දී වුනත් මේක වෙන්න පුළුවන්.

litis contestatio යන්නෙන් සාමාන්‍යයෙන් සැළකෙන්නේ නඩුවක් අවසන් වෙනවා ද කියන එක.

තෑග්ගක් අවලංගු කිරිම සම්බන්ධ නඩුවක් කියන්නේ පුද්ගලික නඩුවක්. ඒ කියන්නේ in personam. මේ ස්වභාවයේ නඩුවක දී පැමිණිලිකරු හෝ විත්තිකරු මිය ගියාම නඩු කටයුත්තත් එතනින් අවසන් වෙනවා. ඒ actio personalis moritur cum persona  කියන ආප්තයේ යෙදීමත් එක්ක. මේ ගැන සාකච්ඡා වෙනවා කලින් සඳහන් කළ  S.C. Appeal No. 64/2008 decided on 2010.05.06 නඩු තීන්දුවෙදි. නමුත් Stella Perera and others v. Margret Silva (2002) 1 Sri LR 169 නඩුවෙදි මේ ආප්තයේ යෙදීම සිදු නොවන අවස්ථා ගැන අමරසිංහ විනිසුරුතුමා සාකච්ඡා කරනවා.  ඉතින් තෑගි ඔප්පුවක් අවලංගු කිරීමේ නඩුවක දී වුනත් පාර්ශවකරු මිය යන්න පෙර සිතාසි බෙදලා ඔහුව අධිකරණයට කැඳවලා තියෙනවානම්, ඒ තැනැත්තා මිය ගියා කියලා නඩුව අවසන් වෙන්නේ නෑ. මේ බව Muheeth v. Nadarajapillai 19 NLR 461 නඩුවෙදි තීරණය වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලා කියපු S.C. Appeal No. 64/2008 decided on 2010.05.06 නඩුවෙදිත් ඒ බව තිරණය වෙලා තියෙනවා. මේ ගැන නීතීඥවරු විදියට දැනුවත් ව සිටීම හොඳයි.

මරණය බලා‍පොරොත්තුවෙන් දෙන තෑගි

දේපල පැවරීමේ තවත් ක්‍රමයක් විදියට මරණය බලා‍පොරොත්තුවෙන් දෙන තෑගි හඳුන්වන්න පුළුවන්. ලංකා නීතියේ දී මේ තෑගිත් පිළිගෙන තියෙනවා (Weerasooriya Et Al. v. Weerasooriya Et Al. (1910) 13 NLR 376).

සාමාන්‍යයෙන් මරණය බලාපොරොත්තුවෙන් දෙන තෑගි ක්‍රම 3 කින් දෙන්න පුළුවන්.

අ.         මරණය පිළිබඳ බියක් හෝ හදිසි අනතුරක් සම්බන්ධයෙන් බියක් නොමැති ව මරණයෙන් පස්සෙ පමණක් තෑගි ලැබුම්කරුවාට දේපල අයිතිය පැවරෙන විදියට තෑගි දීමනාකරු විසින් දෙන තෑගි

ආ.       රෝගයක් නිසාවෙන් හෝ යම් හදිසි අනතුරක් නිසාවෙන් මරණය පිළිබඳව ඇති බිය නිසාවෙන් නමුත් ඒ රෝගය හෝ අනතුර නිසා මරණය සිදු වීමෙන් පසුව යම් දේපලක් තෑගි ලැබුම්කරුට අයිතිය පැවරෙන බවට වන විශ්වාසයෙන් දෙන තෑගි

ඇ.       යම් විශේෂ බියක් නිසාවෙන් මරණය සිදු විය හැකි බව දැන, එකී බිය හේතුවෙන් මරණය සිදු නොවුනොත් දේපල හිමිකම නැවතත් තෑගි දීමනාකරුට පැවරෙන බව දැන ගෙන එක් වරටම අයිතිය තෑගි ලැබුම්කරුට පැවරෙන ලෙසින් දෙනු ලබන තෑගි

මෙයින් පළමු දෙක භාර දීමක් නැතිව වුනත් කරන්න පුළුවන් වුනත්, තුන් වැන්න තුළදී භාර දීම සිදු විය යුතුයි.

අනිත් තෑගි වලදි ‍වගේම, පුද්ගලයකුට තෑගි දෙන්න පුළුවන් ඕනම දේපලක් මරණය බලාපොරොත්තුවෙන් දෙන තෑග්ගක දි ත් දෙන්න පුළුවන්. සැමියා බිරිඳ අතරෙත් වෙන්න පුළුවන්. නමුත්, මරණය බලා‍පොරොත්තුවෙන් දෙන තෑග්ගක් මරණය සිද්ද වෙනකම් සම්පූර්ණ වෙන්නේ නෑ.

තෑග්ග භාර දීලා සම්පූර්ණව තිබිය දී වුනත් තෑගි ලැබුම්කරු, තෑගි දීමනාකරුට පෙර මිය යන විටක දී මරණය බලා‍පොරොත්තුවෙන් දෙන තෑග්ගක් අවලංගු වෙනවා. ඒ වගේම අසනීපය හෝ හදිසි අනතුර අවසන් වුනහමත් අවලංගු වෙනවා. ඒ වගේම තෑගි දීමනාකරුට ඕනාම වෙලාවක දී මේ විදියේ තෑග්ගක් අවලංගු කරන්නත් පුළුවන් කියලා ෆුට් කියනවා.

“A dead of donation which is to take effect after the death of the donor and which is accepted by the donee is irrevocable and cannot be treated as a testamentary disposition which must be admitted to probate.” Held in Uduma Levvai v. Mayatin Vava Et Al (1907) 10 NLR 347

අවලංගු කළාට පස්සෙ තත්ත්වේ.

තෑග්ගක් අවලංගු කළාට පස්සේ මොකද වෙන්නේ කියලත් දැන ගන්න එපැයි.

මේ විදියට තෑග්ගක් අවලංගු කළත්, අවලංගු වුනත් තෑගි දීමනාකරුට තමන් තෑගි දුන්න දේපල ආපහු ලබා ගන්න පුළුවන්. මුලින් කියපු ක්‍රම දෙකට දේපල පැවරූ වෙලාවක දී දේපල ආපසු පවරා ගන්න තෑගි දීමනාකරුට පුළුවන් තෑගි ලැබුම්කරුවාට හරි දේපලේ රැඳිලා ඉන්න අයට විරුද්ධව රේ වින්ඩිකාෂියෝ නඩු කරයක් පවරන්න. නමුත් අනිත් අවස්ථාවේ දී මේ නඩුකරය පවරන්න ලැබෙන්නේ නෑ, මොකද එක් වරද දේපල පැවරෙන නිසාවෙන්. එතකොට පුළුවන් වෙන්නේ දේපල හරි ඒ දේපලේ වටිනාකම ලබා ගන්න තෑගි ලැබුම්කරුට එරෙහිව පුද්ගලික නඩුවක් පවරන්න.

කාලාවරෝධය

සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනෑම නඩුවකට කාලාවරෝධය බලපානවා. තෑගි ඔප්පු අවලංගු කිරීමේ නඩුවක දි වුනත් ඒක එහෙම වෙන්න ඕනා. මොකද ලංකාවේ කාලාවරෝධී ආඥාපනතේ ප්‍රතිපාදන මේ සම්බන්ධයෙන් බලපාන නිසාවෙන්. වංචාව නිසාවෙන් ඔප්පුවක් අවලංගු කරන්න නම් කාලාවරෝධ ආඥාපනතේ 10 වගන්තියේ හැටියට නඩු නිමිත්ත හටගත් දවසෙ ඉඳන් අවුරුදු 3 ක් ඇතුළත් නඩු පැවරිය යුතු වෙනවා කියලා M. A. Amalapala Munasinghe v. S. A. SandyaKasthurirathne (C.A. No. 138/1998 decided on 13.01.2012) නඩුවෙදි තීරණය වෙලා තියෙනවා. නඩු නිමිත්ත හට ගන්නෙ කවද්ද කියන එක ඒ ඒ සිදුවීමෙන් සිදුවීමට සැළකිය යුතු කරුණක් බවත් මේ නඩුවෙදි පෙන්නලා දීලා තියෙනවා. තෑගි ඔප්පුවක් අවලංගු කිරිම සම්බන්ධයෙන් වන විටත් කාලාවරෝධය සම්බන්ධයෙන් ලංකාවේ විශේෂ නීතියක් ලිඛිතව සඳහන් වෙන්නේ නෑ.

කාලාවරෝධ ආඥාපනතේ 10 වගන්තියෙන් කියන්නේ සරලව ගත් විටදී කියවෙන්නේ ආඥාපනතේ හෝ වෙනත් නීතියක දී ප්‍රතිපාදන නොසළස්වා ඇති නඩු නිමිත්තක් සම්බන්ධයෙන් වන විට දී නඩු නිමිත්ත හට ගත් දින සිට අවුරුදු 3 ක් තුළ නඩු පැවරිය යුතු බවයි. මගේ අදහස මේ වගන්තිය තෑගි ඔප්පු අවලංගු කිරීමටත් අදාළ වෙන බවයි. නමුත් නඩු නිමිත්ත හට ගත් දවස පෙර කිව් නඩු තීන්දුවෙදි කීව වගේ ඒ ඒ අවස්ථානුගත කරුණු අනුව අධිකරණය විසින් සැළකිල්ලට ගත යුතුයි.

2017 අංක 05 දරන අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත

තෑගි ඔප්පු ගැන කථා කරද්දී මේ පනත ගැන කථා නොකරම බැහැ. තවමත් පනත අලුත්. පනතේ පූර්විකාවේදීම දක්වනවා මේ පනත, අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීම සඳහා ද, ඊට සම්බන්ධ හා ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතක් බව. පනතේ 2 වන වගන්තියෙන් දක්වනවා අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක්, බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කරවා ගැනීමට හැකියාව ලැබෙන්නේ එහි තෑගි ලැබුම්කරුට එරෙහිව එම ඔප්පුවේ දීමනාකරු විසින් නිසි අධිකරණ බලය ඇති අධිකරණයක පවරන නඩුවක ආඥාවකින් පමණක් බව. කෙසේවෙතත් වගන්තියේ පැහැදිලිවම වචන යොදලා තියෙන්නේ ‘අවලංගු කරනු ලැබිය හැකිය’ ලෙසින් බව සිහි තබා ගත යුතු යි. ඒ වෙනුවෙන් නඩු පැවරීමට කාල සීමාවක් පැහැදිලිවම පනතේ 3 වන වගන්තියෙන් දක්වලා තියෙනවා. ඒ, තෑගි ඔප්පුව අත්සන් කිරීමේ දින සිට අවුරුදු 10 ක් තුළ සහ නඩු නිමිත්ත පැන නැගුන දින සිට අවුරුදු 2 ක කාලයක් තුළ නඩුව නොපවරන්නේනම් නඩු පැවරිය නොහැකි බවට දක්වමින්. මේ අනුව තෑගි ඔප්පුව අත්සන් කරලා අවුරුදු 10 ක් ගෙවිලානම්, නඩු නිමිත්ත හට ගැනිලා අවුරුදු 2 ක් ගෙවිලා නම් (මෙතනදි නඩු නිමිත්ත වෙන්නේ බලවත් අකෘතඥතාවය හට ගත් දවස) මේ පනත යටතේ නඩුවක් පැවරීමට නොහැකි යි.

මේ පනත යටතේ හඳුන්වලා තියෙන තවත් වැදගත් කරුණක් තමයි ලිස්පෙන්ඩන්ස් ලියාපදිංචි කිරීමට අවශ්‍ය වීම. පනතේ 4 වන වගන්තිය දක්වන්නේ නඩුවක් පැවරීමට බලාපොරොත්තුවන පැමිණිලිකරු ලිස්පෙන්ඩන් ලියාපදිංචි කිරීමට ඉල්ලුම් පත්‍රයක් ද පැමිණිල්ල සමඟ ඉදිරිපත් කළ යුතු බවයි. ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ දක්වා ඇති ආකාරයට සාරානුකූලව සකස් කර යුතු මෙය, පිටපත් 3 කින් විය යුතුයි. ‍එසේම ඒ පිටපත් 3 පැහැදිලිව ‘මුල් පිටපත’, ‘1 වන පිටපත’ සහ ‘2 වන පිටපත’ ලෙස සටහන් කර, නඩු අංකය ඇතුල් කිරීමට ඉඩ තබා බාර දිය යුතුයි.

පනත යටතේ නඩු පවරා පවත්වාගෙන යා යුතු වන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නිසා පනතේ 2 වන වගන්තියෙන් දක්වන නිසි අධිකරණය දිසා අධිකරණය බව සිතා ගත හැකි.

මේ පනත යටතේ වන ප්‍රතිපාදන අනුව බලවත් අකෘතඥතාවය යන පදනම මුල් කර ගනිමින් අවලංගු කළ ‍නොහැකි තෑගි ඔප්පුවක් අවලංගු කිරීම අධිකරණයේ තීන්දුවකින් සිදු කළ යුතු බව දක්වා තිබෙනවා. නමුත් පෙර දැක්වූ ආකාරයට අදාළ වගන්තියේ දී ‘හැකිය’ ලෙසින් දක්වා තිබීම තුළ ලඝු ගතියක් ද තියෙන බව මගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *